චීනයේ පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් මේ වන විට 17 දෙනකු මියගොස් ඇති අතර 570 කට වැඩි පිරිසක රෝගය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් වුහාන් සහ හුආන්ගාං නගර දෙකෙහි ජනතාවට අත්‍යාවශ්‍ය කරුණකට හැර පිටත නොයන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

මෙම නගර දෙකෙහි මිලියන 20 ක පමණ ජනතාවක් ජීවත් වන අතර දුම්රිය සහ ගුවන් ගමන් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ.

වෙළඳපොළ සිනමා ශාලා සහ සියලුම කඩසාප්පු වසා දමා ඇති අතර විථි හිස් වී ඇති බවත් ජනතාව භීතියෙන් නිවෙස් තුළට වී සිටින බවත් පැවසේ.

 

 

මිලියන 1.1ක ජනගහනයක් වෙසෙන ආසන්න ඊෂෝ නගරයේ ද දුම්රිය ස්ථාන තාවකාලිකව වසා දමා ඇත.

අළුත් අවුරුදු නිවාඩුව තුළ බීජිං නගරයේ පන්සල් වල සාමාන්‍යයෙන් පැවැත්වෙන විශාල රැස්වීම් රජය විසින් අවලංගු කර තිබේ.

මේ වනවිට ජපානය, හොංකොං, මැකාවෝ, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය සහ ඇමරිකාවෙන් රෝගීන් වාර්තා වී ඇති අතර නිරීක්ෂකයන් පවසන්නේ චීනයේ ආරම්භ වී ලොව පුරා පැතිරුණු සාර්ස් රෝගය මෙන් දරුණු තත්ත්වයකට පත්විය හැකි බවයි.

කෙසේවුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධව ගෝලීය වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම ප්‍රමාද කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙම සතියේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයන වලින් පෙනී යන්නේ වෛරසය වවුලන් හෝ සර්පයන් තුළ ඇති වූවක් විය හැකි බවයි.

සමීප සම්බන්ධතා ඇති පුද්ගලයන් අතර වෛරසය පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇති අතර එය විකෘති වී තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවට චීන සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇත.

(ඒඑෆ්පී ඇසුරිණි - 085)