ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 391 දෙනකුට අපරාධ චෝදනා එල්ල වී තිබේ. 
එම 391 දෙනාගෙන් 254 දෙනකුට සාපරාධීය අපරාධ චෝදනා ඇතැයි ද වාර්තා වේ.

 
මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 2,560 දෙනකු ඉන්දීය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉහත තොරතුරු අනාවරණය වී තිබේ. 
 
කර්ණාටක මැතිවරණ නිරීක්ෂණ ආයතනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වූ සංවිධානය විසින් මෙම විශ්ලේෂණය කරනු ලැබ තිබේ. එහිදි චෝදනා එල්ල වූ පිරිසෙන් සිව්දෙනෙක් ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිති. අපේක්ෂකයන් 23 දෙනකුට කාන්තාවන්ට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. 
 
මැතිවරණයට ඉදිරිපත් වී සිටින සම්පූර්ණ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 2,655ක් වන අතර එයින් 2,560 දෙනකුගේ දිවුරුම් පෙත්සම් විශ්ලේෂණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වූ සංවිධානයේ ත්‍රිලෝචන් ශාස්ත්‍රී පැවැසීය. 
 
ඉතිරි පිරිසගේ දිවුරුමු පෙත්සම් තිබූ විවිධ අඩුපාඩු, අසම්පූර්ණ බව හා පැහැදිලි නොවීම යන කරුණු නිසාවෙන් විශ්ලේෂණය කිරීමට නොහැකි වූ බව ඔහු කීය. චෝදනා එල්ල වූවන් අතර ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයෝ ද වෙති. කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයට භාරතීය ජනතා පක්ෂයෙන් අපේක්ෂකයන් 224 දෙනකු ඉදිරිපත් වී සිටින අතර එයින් 83 දෙනකුට, කොංග්‍රසයෙන් ඉදිරිපත් වී සිටින 220 දෙනාගෙන් 59 දෙනකුට සහ ජනතා දාල් පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 199 දෙනාගෙන් 41 දෙනකුට අපරාධ චෝදනා එල්ල වී තිබේ.
 
සාපරාධීය අපරාධ චෝදනා එල්ල වූවන් අතර භාරතීය ජනතා පක්ෂයේ 58 දෙනෙක්, කොංග්‍රසයේ 32 ක් සහ ජනතා දාල් පක්ෂයේ 29 දෙනෙක් වෙති. 
 
තම තමන් මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන්ට අපරාධ සහ සාපරාධීය අපරාධ චෝදනා එල්ල වී තිබියදී මෙම පක්ෂ දූෂණයට එරෙහිව සටන් කරන්නේ කෙසේදැයි දැනගැනීමට කැමැති යැයි ශාස්ත්‍රී විශ්ලේෂණයේ තොරතුරු අනාවරණය කිරීමෙන් පසු පැවැසීය. 
 
ද හින්දු

 
055