කාම්බෝජ පාර්ලිමේන්තුව, නිල වශයෙන්, එරට හිටපු අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ වැඩිමල් පුතු 45 හැවිරිදි හුන් මනෙට්, අග්‍රාමාත්‍ය ධුරය සඳහා තෝරා පත් කර ගත්තේය.

වසර 38 ක් තිස්සේ කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළේ හුන් සෙන් ය. මීට මාස කීපයකට පෙර පැවැති මහ මැතිවරණයෙන් ද 71 හැවිරිදි හුන් සෙන් ජයග්‍රහණය කළේය.

එහිදී ඔහු කියා සිටියේ තමන් සති 3 කින් බලය අත්හරින බවත්, තමන් වෙනුවට එම මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුනක් දිනූ තම වැඩිමල් පුතු හුන් මනෙට්ට අග්‍රාමාත්‍ය ධුරය ලබා දිය යුතු බවත්ය.

හුන් මනෙට්, කාම්බෝජ හමුදාවේ ජනරාල්වරයෙකු ලෙස ද රාජකාරි කර තිබේ. කාම්බෝජ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ගණන 123 කි. අග්‍රාමාත්‍ය ධුරයට හුන් මනෙට් තෝරා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමක් පැවැත්විණි.

පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව හුන් මනෙට් ට කැමැත්ත ලබා දුන්නේය. හුන් සෙන් මෙන්ම හුන් මනෙට් ද නියෝජනය කරන්නේ කාම්බෝජ ජනතා පක්ෂයයි.