ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී පහර දී, ඝාතනය කළ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ අවමංගල්‍යය ඉදිරි දින කීපයේ දී පැවැත්වීමට නියමිත බවත්, ඊට සහභාගී වන්නැයි ඉරාන රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ඇරැයුම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉරාන උත්තරීතර නායක86 හැවිරිදි අයතුල්ලා අලී කමේනී ඝාතනය වූයේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉකුත් පෙබරවාරි 28 වැනිදා ඉරානයට පහර දුන් අවස්ථාවේදීය. එම අවස්ථාවේදී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහරවලින් කමේනීගේ බිරිඳ, වැඩිමල් පුත්‍රයා, ඔහුගේ පවුලේ අය සහ දරුවන් ද මියගිය බව වාර්තා විය.
කමේනීගේ දෙවැනි පුත්‍රයා වන මුජ්ටාබා එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා දිවි බේරාගත් අතර, අද ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන්නේ ඔහුය. කමේනීගේ අවමංගල උත්සවයට සම්භාවනීය අමුත්තන් බොහෝ දෙනකු සහභාගී වනු ඇතැයි පැවැසෙයි. ඒ අතරේ රාජ්‍ය නායකයෝ ද වෙති.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරානයේ මිතුරකු වන අතර, කමේනීගේ අවමංගල්‍යයට සහභාගී වන්නැයි මෝදිට ඇරැයුම් කර ඇත්තේ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රැසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ට ඉරානය අවමංගල්‍යයට සහභාගී වන්නැයි ඇරැයුම් කර ඇතැයි ද පැවැසෙයි.
අවමංගල්‍ය උත්සවය ජූලි පළමු සතියේදී ඉරානයේ නගර කීපයක පැවැත්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අවමංගල උත්සව මාලාව එලැඹෙන ජූලි 4 වැනිදා ටෙහෙරාන් අගනුවරින් ආරම්භ වන අතර, ජූලි 9 වැනිදා කමේනිගේ උපන් ප්‍රදේශය ලෙස ද සැලකෙන මෂාද් නුවරදී ඔහුගේ දේහය භූමදානය කිරීමෙන් අනතුරුව අවසන් වනු ඇත.
අවමංගල උත්සවය කල් ගියේ ඊට ඇමෙරිකාවෙන් හෝ ඊශ්‍රායලයෙන් හෝ ප්‍රහාර එල්ල වනු ඇතැයි බිය පළ කළ බැවිනි. කෙසේ නමුත් මේ වනවිට ඉරානයත් ඇමෙරිකාවත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, යුද ගැටුම් ද යම්තාක් දුරකයට සමනය වී අවසන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd