තම පාරිභෝගිකයින් පිනවීමට යැයි කියා ඔවුන්ගේ ආහාර වලට අබිං මිශ‍්‍ර කළ අවන්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට චීනයේ ෂාන්ක්සි ප‍්‍රාන්ත පොලිසිය සමත්ව ඇත.

අවන්හල් හිමිකරුවාගේ හොරය අසුවී තිබෙන්නේ අහඹු ලෙස රථ වාහන නවත්වමින් ඒවායේ යන්නවුන් පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරීන් පිරිසක් මේ අවන්හලෙන් ආහාර ගෙන ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ වාහනය නවත්වා ඔහුව පරීක්ෂා කිරීමත් සමගය.

පොලිස් නිළධාරීන් මෙන්ම එම පුද්ගලයාද පුදුමයට පත්කරමින් ඔහු අබිං භාවිතා කර ඇතැයි එහිදී අනාවරණය වී ඇත.

මේ පුද්ගලයා තමන් ජීවිතයේ කිසිම දිනෙකවත් අබිං භාවිතා කර නැතැයි පොලිසිය හමුවේ කියා ඇත.

ඔහුගෙන් ලද තොරතුරු අනුව ඔහු අවසානයට ආහාර ගත් අවන්හල ගැන සැක ඉපිදවූ පොලිසිය එහි ගොස් සොයාබැලීමේදී අවන්හල් හිමිකරු ආහාර වලට අබිං මිශ‍්‍ර කරන්නේයැයි සොයාගෙන තිබේ.

හිමිකරු පවසා ඇත්තේ තම අවන්හලට නැවත නැවතත් පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමටත් ඔවුන්ට කිසියම් වින්දනයක් ලබා දීමටත් මෙසේ ආහාර වලට අබිං මිශ‍්‍ර කළ බවයි.

අවන්හල් හිමිකරු මේ වන විට සිටිනුයේ පොලිස් අත්අඩංගුවේය. ඒ මත්ද්‍රව්‍ය බෙදාහැරියේ යැයි යන වරදටය.

අබිං අතීතයේ සිටම චීනයේ බහුලව භාවිතා කළ ආහාර රසකාරකයක් වන අතර මෑතකදී හදුන්වාදුන් නව නීති අනුව එහි භාවිතය දැන් තහනම්ය.