ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර දේවස්ථානයක් අසල පිපිරීමක් සිදුව ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

කාබුල් නුවර දේවස්ථාන පිවිසුම් ස්ථානයක් අසල මෙම පිපිරීම සිදුව ඇතැයි ද පිපිරීමෙන් සිවිල් වැසියන් කිහිපදෙනකු මරණයට පත්ව ඇතැයි ද තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

කාබුල් අගනුවර ඊද් ගාහ් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රවේශ ගේට්ටුවක් අසලදී මෙම පිපිරීම සිදුව ඇතැයි ද වාර්තා වේ.

තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහිද්ගේ මවගේ අනුස්මරණ උත්සවයක් පැවැත්වෙමින් තිබියදී මෙම පිපිරීම සිදුව ඇත.

මෙම ප්‍රහාරයෙන් තලේබාන් සංවිධානයේ සාමාජිකයන් කිසිවකුට තුවාල සිදුව නැතැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු වන බිලාල් කරීමි ඒ.පී. පුවත් සේවයට පැවැසීය.

මියගොස් ඇත්තේ දේවස්ථානයේ ප්‍රවේශ ගේට්ටුව අසල සිටි සිවිල් වැසියන් පිරිසක් බව ද අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

කිසිවකුත් තවම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.

(රොයිටර්)