ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සහ එරට නැගෙනහිර දෙසින් පිහිටි පක්ටිකා පළාතේ පිපිරීම් වාර්තා විය. ඇෆ්ගන් තලේබාන් රජය චෝදනා නගන්නේ, එම පිපිරීම් පසුපස පාකිස්තානය සිටින බවය.

ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකීගේ සය දින ඉන්දීය සංචාරය සිදුවෙද්දී කාබුල් අගනුවර සහ පක්ටිකා පළාතේ මෙම පිපිරීම් සිදුවිය. ඇෆ්ගන් තලේබාන් රජය ඉන්දීය රජය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමත් සමඟ පාකිස්තානයත් ඇෆ්ගනිස්තානයත් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත.

මේ අතර, තලේබාන් සහ පාකිස්තාන හමුදා අතර ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ වෙඩි හුවමාරුවක් සිදුවී ඇතැයි පැවැසෙයි. ඇෆ්ගන් තලේබාන් රජය සහ පාකිස්තානය අතර හටගත් මෙම අර්බුදය උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි ඉරානය, කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය ඉල්ලීමක් කර ඇත.

ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක එනයිතුල්ලා ක්වාරිස්මි පවසා ඇත්තේ අසල්වැසි පාකිස්තානයෙන් තම භූමියට ප්‍රහාරයක් එල්ල වන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට අයිතිය ඇති බවය.