ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකීගේ ඉන්දීය සංචාරයට සමගාමීව, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඉන්දීය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට ඉන්දීය රජය සූදානම් වෙයි. මේ බව නිවේදනය කළේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ය.

ඉන්දියාව, කාබුල් අගනුවර තම තානාපති කාර්යාලය විවෘත කිරීම සිදු කරන්නේ සිවු වසරකට පසුව වීම ද විශේෂත්වයකි. ඇෆ්ගන් විදේශ අමාත්‍යවරයා ඉන්දියාව බලා පැමිණියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂ අවසරයක් ලබා ගෙනය.

2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, යළි එරට බලය අල්ලා ගැනීමටත්, රජයක් පිහිටුවීමටත් තලේබාන්වරු කටයුතු කළහ.

ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකීගේ හමුවී සාකච්චා පවත්වා හොඳ හිත තරකර ගැනීමෙන් පසු ඉන්දීය රජය ඇෆ්ගන් රජයට ගිලන් රථ පරිත්‍යාග කිරීමක් ද සිදු කළේය. ඒ, ඇෆ්ගනිස්තානයේ සංවර්ධනය සහ යටිතල පහසුකම් ගොඩනැගීමට තමන් සහාය ලබා දෙන බව අවධාරණය කරමිණි.

ඇෆ්ගන් තලේබාන් පාලනය මේ වනවිට ලොවෙන් හුදෙකලා වී ඇත. ඒ, ඔවුන්ගේ ෂරියා නීතිය යටතේ කාන්තා අයිතීන් උල්ලංඝනය වන බැවිනි.