ග්‍රීසියේ පිහිටි සංක්‍රමණික කඳවුරක දරුවන් විශාල ප්‍රමාණයක් උණ සහ පාචන තත්ත්වයන් වලින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ග්‍රීසිය හා මැසිඩෝනියාව අතර දේශසීමාවේ ඉඩොමෙනි නමැති ස්ථානයේ මේ සංක්‍රමණික කඳවුර පිහිටා ඇත. එහි 14,000ක් පමණ සංක්‍රමණිකයෝ සිටිති. ඔවුන් සිරවි සිටින්නේ බෝල්කන් රටවල් සංක්‍රමණිකයන් ඇතුළු වීම වැළැක්වීමට දේශසීමා වසා දැමීම හේතුවෙනි.

මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳවුරු භූමිය මඩ වී ඇති බවත් දරුවන් අධික පිඩාවට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි. දිවා කාලයේ පවා මේ ප්‍රදේශයේ පවතින්නේ ඉතා අඩු උෂ්ණත්වයකි. එය සෙන්ටිග්‍රේට් අංශක පහක් වැනි ප්‍රමාණයකි. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසා ඇත්තේ කඳවුරේ සිටින අයගෙන් සියයට 40ක් පමණ කුඩා දරුවන් බවයි. සනීපාරක්ෂක තත්ත්වය දුර්වල වීම හේතුවෙන් ඔවුන් ස්වසන ආබාධවලින් ද පෙලෙන බව ද වාර්තා වේ. උණුසුම ලබා ගැනීමට ප්ලාස්ටික්, පොලිතීන් බෑග් හා රෙදි පිලිස්සීම හේතුවෙන් අහිතකර වායු ස්වසනය කර තත්ත්ව තවත් උග්‍රවෙමින් පවතින බව ද සෞඛ්‍ය සේවා අනතුරු අඟවයි.

කඳවුරේ සිටින බොහෝ දෙනකු දැන් පවසන්නේ සිරියාවේ බෝම්බ පිපිරීම් හා යුද්ධය කඳවුරේ දැන් පවතින තත්ත්වයට වඩා කිහිප ගුණයකින් යහපත් බවයි.