සුෂුම්නාවට සිදුව ඇති හානියක් නිසා ජීවිත කාලයම රෝද පුටුවක් මතට වී දිවි ගෙවීමට සිදුව ඇති පුද්ගලයින්ට නව බලාපොරොත්තුවක් ගෙන දීමේ සමත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගැනීමට හැකිවූවේයැයි ඇමරිකා විද්‍යාඥ පිරිසක් පවසති.

සුෂුම්නාවට හානියක් සිදුවුවහොත් එය නැවත තිබුණු තත්ත්වයට පත්කළ නොහැකි යැයි මේ දක්වා පැවැති විශ්වාසය විය.නියුරෝන හෙවත් ස්නායු ආවේග ගෙනයාමට ආධාර වන විශේෂ ෙසෙල වලින් සැදි සුසුම්නාව ඉතා සංකීර්ණ පද්දතියක් වන අතර එයට හානියක් සිදුවේ නම් එය නැවත තිබුණු තත්ත්වයටම පත්කිරීම නොකළ හැකි තරම් වේ.

එයින් සිරුරේ සියලූම චාලන මෙන්ම සංවේදක කටයුතු යාමනය කෙරෙන අතර සුසුම්නාවට හානියක් සිදුවුවහොත් සිරුරේ සම්පූර්ණ ප‍්‍රදේශයක සියලූ දැනීම් නැතිවී එම ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම අක්‍රීයව යයි.සුසුම්නාවට හානි සිදුවන්නන්ට බොහෝ අවස්ථාවන්හිදී රෝද පුටුවකට වී දිවි ගෙවීමට සිදුවන්නේ මේ හේතුව නිසාය.

තම පර්යේෂණයට අනුව මෙම තත්ත්වයට යම්තාක් දුරට ප‍්‍රතිකාරයක් කළ හැකි බව සොයාගැනීමට හැකිවූවේයැයි විද්‍යාඥ පිරිස පවසන්නෝය.

සුසුම්නාවේ කි‍්‍රයාකාරීත්වය අඩාළ වන්නේ එහි ඇති නියුරෝන සෛල වලට හානි වීම නිසා යැයි සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ එම නියුරෝන සෛල අලූත් සෛලයන්ගෙන් ප‍්‍රතිස්ථාපනය කර හැකිදැයි සොයාබැලීමයි මේ සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ මීයන්ය.නියුරෝන සෛල නිපදවීම සදහා ඔවුන් මිනිස් කුඹ සෛලයක් යොදාගෙන ඇත.

පර්යේෂණය සාර්ථක කරමින් එසේ නියුරෝන සෛලයන් ප‍්‍රතිස්ථාපනය කරවා මීයන්ගේ සිරුරේ අක්‍රීයව තිබූ කොටසකට නැවත ජීවය ලබාදීමට හැකිවූ බව ඔවුහු කියන්නෝය.

නියුරෝන සෛලයන් ප‍්‍රතිස්ථාපනය කළ පසු ඒවා ඉතා වේගයෙන් වැඩුණු බව ඔවුහු පවසන්නෝය.

කෙසේනමුත් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මිනිසුන්ට ලබාදීමට පෙර තවත් පර්යේෂණ බොහෝමයක් කළ යුතුව ඇතැයි ඔවුහු අවධාරණය කරන්නෝය.නියුරෝන සෛල වැඩුණු වේගය දෙස බලන විට එවන් නියුරෝනයන් සිරුරේ වෙනත් පටක පවා ආක‍්‍රමණය කළ හැකිවීමේ අවදානමක් ඇති බවත් ඊට මුලින්ම පිළිතුරු සෙවිය යුතුව ඇති බවත් ඔවුහු පෙන්වා දෙන්නෝය.