කාන්තාවන්ට හිරිහැර කිරීම, දෙවියන් වහන්සේට කරන අපහාසයක් යැයි නව අවුරුදු උදාව සමරමින් පැවැති දේව මෙහෙයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පෙන්වා දුන්නේය.

නව අවුරුදු උදාව සමරමින්, දේව මෙහෙය පැවැත්වූයේ ශාන්ත පීතර බැසිලිකාවේය. මාතෘත්වය සහ කාන්තාවන් යන තේමාවන් වටා අලුත් අවුරුදු දේව මෙහෙයට පැවැත්විණි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වහා නැවැත්විය යුතු යැයි පාප්තුමන් එහිදී අවධාරණය කළේය. 'මවුවරුන් ජීවිතය දෙන බවත්, කාන්තාවන් මේ සියල්ල එකට රඳවා තබා ගැනීම සිදු කරන බවත් මවුවරුන්ට ගරු බුහුමන් කිරීමට සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට වැඩි වැඩියෙන් යොමු විය යුතු බවත් දේව මෙහෙයේදී පාප්තුමන් වැඩි දුරටත් පැහැදිලි කළේය.

නව අවුරුදු උදාව නිමිත්තෙන් ඊයේ (31) සන්ධ්‍යාවේ ද දේව මෙහෙයක් පැවැත්වුණු නමුත් පාප්තුමන් එහි මුලසුන හෙබවූයේ නැත. 85 හැවිරිදි පාප්තුමන්ට දණහිස් ආබාධයකින් පෙළෙන බවත්, වැඩි වේලාවක් සිටගෙන සිටීමට නොහැකි බවත් වතිකානය පවසා තිබේ.

කෙසේ නමුත් අද (1) නව අවුරුදු උදාවීම සමරමින් පැවැති දේව මෙහෙය පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණු අතර පාප්තුමන් බැසිලිකාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී රැස්ව සිටි බැතිමතුන්ට ආශිර්වාද කරමින් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර්)