අයහපත් කාලගුණය හේතුවෙන් කැනඩාවට අයත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට මහ වැසි, නායයෑම් සහ අධික සුළං හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

මහා මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර වෙද්දී, මෝටර් රථ සහ දුම්රිය සිය ගණනක් ගමනාන්තවලට ළඟා වීමට නොහැකිව සිරවිය. වැන්කූවර් නගරය සහ දිවෙන මාර්ග බොහොමයක් අවහිර වී ඇති බැවින්, ආහාර ඇතුළු අ්‍යාවශ්‍ය භාණ්ඩ සැපැයුම් ජාල පවා අඩපණ වී ඇතැයි කැනඩා පුවත් සේවා පෙන්වා දෙයි.

බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෝන් හෝගන් ප්‍රාන්ත වැසියන් අමතමින් කියා සිටියේ විපතට පත්වූන්ට ආධාර කිරීමට කැනඩා රජය ගුවන් හමුදාව යොදවා ඇති බවය. කෙසේ නමුත් ඇද හැලෙන මහ වැසි එම සහන සේවා කටයුතුවලට ද බාධාවක් එල්ල වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

නායයෑම් හේතුවෙන් මියගිය ගණන 10 ක් බවත්, පස් දෙනෙකු අතුරුදන් බවත් පැවැසෙයි. ගොවිපොල රැසක් විනාශ වී ඇති අතර හදිසියේ හටගත් ජල ගැලීම්වලට හසුවුණු ගවයක් මුදා ගැනීම ද සිදුවෙමින් පවතී. නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් අවතැන් වුණු ගණන දහසකට වැඩිය.

(රොයිටර්)