නවදිල්ලියේදීය (ද හින්දු ඇසුරිනි)
 
දින හතක නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට ඇනුම් පද කී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ප්‍රකාශ කරයි. 

 
නිල සංචාරයක් සඳහා ඉරිදා (18) ඉන්දියාවට පැමිණි කැනඩා අගමැතිවරයා ‘මහත්මා ගාන්ධිගේ සබාර්මති ආශ්‍රමයට’ (ගාන්ධි ආශ්‍රමය) ප්‍රණාමය පුද කළ අතර අක්ෂාර්දාම් විහාරස්ථානයටත් අහ්මෙදාබාද්හි ඉන්දීයානු කළමනාකරණ ආයතනයේ සංචාරයකත් නිරත විය. 
 
කැනඩා අගමැතිවරයා, බිරිඳ ග්‍රෙගොරි සහ දරු තිදෙනා සමඟ සඳුඳා (19) ගුජරාට ප්‍රාන්තයේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු පිළිගැනීමට ප්‍රාන්ත මහ ඇමතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. 
 
“මහ ඇමැතිවරයාට පැමිණීමට නොහැකි වුණා. ප්‍රාන්ත සභාවේ අයවැය සැසිවාරයේ පළමු දිනය යෙදී තිබූ නිසා මහ ඇමැතිවරයාට කැනඩා අගමැතිවරයා පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වුණා. එහෙත් රජය කැනඩා අගමැතිවරයාට සියලු පහසුකම් සපයා දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔහු සතුටෙන් සිටියේ” යැයි චෝදනාවලට පිළිතුරු දෙමින් ප්‍රාන්ත මහලේකම් ජේ.එන්. සිංග් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 
 
කැනඩා අගමැතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ. විදෙස් නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉන්දියාවේ සංචාරය කරන විටදී ඔවුන් පිළිගනිමින් ඉන්දීය අගමැතිවරයා සාමාන්‍යයෙන් ට්විටර් පණිවිඩයක් යොමු කළත් කැනඩා අගමැතිවරයා පිළිගනිමින් එසේ නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. 
 
කැනඩාවේ සිටින කාලිස්තානි බෙදුම්වාදී කණ්ඩායම්වලට කැනඩා රජය සහාය දැක්වීම සහාය දැක්වීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
 
කැනඩා අග්‍රාමාත්‍යවරයා අග්‍රාවේ සංචාරය කළ අවස්ථාවේදී උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති ආධිත්‍යනාත් ද ඔහු මුණ ගැසීම මග හැරීය. 
 
චීන ජනාධිපති ෂී ජින්පින්ග්, ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තමන්ගේ ප්‍රාන්තය වන ගුජරාටයේ සංචාරය කළ අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔවුන් සමඟ ගුජරාට ප්‍රාන්තයේ සංචාරය කළේය. එහෙත් මෙවර ඉන්දීය අගමැතිවරයා කැනඩා අගමැතිවරයා සමඟ සංචාරයට එක් නොවීය. 
 
ඉන්දීය අගමැති මෝදි කැනඩා අගමැතිවරයා හමුවනු ඇත්තේ පෙබරවාරි 23 වැනිදා නිල වශයෙන් පැවත්වෙන සාකච්ඡාවලදී පමණක් බව වාර්තා වේ. 
 
055