බාසිලෝනාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින් පැවැති ජනමත විමසුමෙන් කැටලෝනියාවට වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය අයිතිය දිනාගත් බව එම ප්‍රාන්තයේ නායක කාල්ස් පුයිජේමොන්ට් අද (2) ප්‍රකාශ කළේය. 
 
ස්පාඤ්ඤ ආණ්ඩුවේ දැඩි විරෝධය හා ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ ඉරිදා (1) ජනමත විමසුම පැවැත්විණි. නිදහස ප්‍රකාශ කිරීම සඳහා ඒකපාර්ශවීය අයිතිය දැන් විවෘත වී ඇතැයි ද කැටලෝනියා ප්‍රාන්තයේ නායකයා ජනමත විමසුමේ ප්‍රතිඵල නිකුත් වන අතරවාරයේදී ප්‍රකාශ කළේය.  
 
ජනමත විමසුමට සහභාගි වූ පිරිසෙන් සියයට 90කට වැඩි පිරිසක් කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සහාය දක්වමින් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි එම ප්‍රාන්තයේ බලධාරීහූ ප්‍රකාශ කළහ. ඡන්දය ප්‍රකාශ කළ පිරිස සියයට 42.3ක් යැයි ද එම බලධාරීහූ කීහ. 
 
ස්පාඤ්ඤයේ ව්‍යවස්ථා අධිකරණය ජනමත විමසුම පැවැත්වීම තහනම් කර තිබු අතර ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමට පොලිසය ගත් උත්සහයෙන් සියය ගණනක් තුවාල ලැබූහ. ඡන්ද පත්‍රිකා හා ඡන්ද පෙට්ට තම භාරයට ගැනීමට බලධාරීන් කටයුතු කර තිබිණි. 
 
කැටලෝනියාවේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොමගා යවා ඇතැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය මරියානෝ රාජෝයි පවසා තිබේ. 
 
කැටලෝනියානු ප්‍රාන්ත බලධාරීන්ට අනුව මිලියන 2.2 ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 5.3ක් යැයි ද ඔවුහු කියති. ඡන්ද පොළවල් වසා දැමීම හා ඡන්ද පෙට්ටි රාජසන්තක වීම නිසා ඡන්ද 750,000කට ආසන්න සංඛ්‍යාවක් ගණනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි කැටලෝනියා ප්‍රන්තයේ ප්‍රකාශකයා කීය. 
 
“බලාපොරොත්තු අපේක්ෂා සහ පීඩාව මධ්‍යයේ  ස්වාධීන රාජ්‍යයක්, ජනරජයක් පිහිටුවීම සඳහා කැටලෝනියා ජනතාවට අයිතිය ලැබී ඇතැයි” රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කාල්ස් පුයිජේමොන්ට් ප්‍රකාශ කළේය. 
 
“ඉදිරි දින කිහිපයේදී ජනමත විමසුමේ ප්‍රතිඵල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ස්වෛරීත්වය සහිත ජනතාව සිටින්නේ එහි බව කිව යුතුයි. ජනමත විමසුමට අදාළ නීති රීති අනුව ඔවුන් කටයුතු කරාවි” ප්‍රාන්ත නායකයා කීය.
 
මෙම අවස්ථාවේදී යුරෝපා සංගමයට ඉවත බැලිය නොහැකි යැයි ද කැටලෝනියා ප්‍රාන්ත නායකයා තවදුරටත් කීවේය. ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා පොලිසිය බැටන් පොලුවලින් සහ පා පහර දෙන අයුරු දක්නට ලැබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

055