ඕස්ටේ‍්‍රලියා රජය මෙරටට පිටුවහල් කිරීමට තීරණය කළ ශ්‍රී ලාංකික පවුලක් නවතා ගන්නැයි එරට ෆෙඩරල් විනිසුරුවරියක තීන්දුවක් ලබා දී ඇතැයි එන්.ඞී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.

එම ශ්‍රී ලාංකික පවුල මෙරටට යවන්නැයි ඕස්ටේ‍්‍රලියාවේ රජය නියෝග කර තිබිණි. ඒ අනුව එම පවුල ගුවන් යානයකට ද නංවා තිබෙන අතර අවසාන මොහොතේදී ෆෙඩරල් විනිසුරුවරියක වන හෙදර් රයිලි අතුරු තහනමක් පනවමින් එම පවුලට  ඕස්ටේ‍්‍රලියාවේ තවත් කාලයක් සිටීමට අවස්ථාව ලබා දී තිබේ.

ෆෙඩරල් විනිසුරුවරිය අදාළ අතුරු තහනම නිකුත් කරන අවස්ථාවේදී එම පවුල ගුවන් යානයේ සිටි අතර ගුවන් නියමුවන් ගමන ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිට ඇත. 

ඕස්ටේ‍්‍රලියාව දැඩි ආගමන විගමන නීති කි‍්‍රයාත්මක කරන රටක් වන අතර පසුගිය කාලයේදී බෝට්ටු මගින් ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන සංක‍්‍රමණිකයන් වැඩි වීම නිසා අදාළ නීතිරීති තවදුරටත් දැඩි කළේය.

ඒ අනුව බෝට්ටුවලින් සහ අනවසර ලෙස  ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන සියලූ දෙනා නැවත එම රටවලට හරවා යවන බව  ඕස්ටේ‍්‍රලියාව අඛණ්ඩව අවධාරණය කළේය.

කුඩා දියණියන් දෙදෙනකු සිටින මෙම පවුලේ මව සහ පියා ඔස්ටේ‍්‍රලියාවට පැමිණ ඇත්තේ 2012 සහ 2013 වසරවලදී ය. රැකවරණ පතා ඔස්ටේ‍්‍රලියාවට පැමිණියත් නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණි නිසා  ඕස්ටේ‍්‍රලියානු රජය ඔවුන් ආගමන නිලධාරීන්ගේ බාරයට පත් කර තිබේ. රැඳවුම් භාරයේ සිටි ඔවුන් නැවත ශ්‍රී ලංකාවට යැවීමට පියවර ගත් අවස්ථාවේදී ෆෙඩරල් විනිසුරුවරිය අදාළ අතුරු තහනම ලබා දී තිබේ. 

055