ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජාත්‍යන්තර පතල් කර්මාන්තකරුවන්ගේ සමුළුව පැවති සම්මේලන මධ්‍යස්ථානය ඉදිරිපිට  විරෝධතාවයේ යෙදුණු 40 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.

ජාත්‍යන්තර නියෝජිතයින් සමුළුවට ඇතුළුවීම වළක්වමින් මොවුන් විරෝධතාවයේ යෙදුණු බැවින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.

වර්ණවත් ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවන් සිය ගණනක්  සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන පතල් සමාගම්වල ක්‍රියාකාරීත්වයට එරෙහිව විරෝධතාවයේ යෙදුණු බව මාධ්‍ය වාර්තා කර ඇත.

දේශගුණික විපර්යාසවලට එරෙහි ක්‍රියාකාරිකයින් ලෙස හැඳින්වෙන මෙම විරෝධතාකරුවන් පවසන්නේ පතල් කර්මාන්ත සමාගම් තමන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලැජ්ජා විය යුතු බවයි.

ලාභය ලැබීමත්, ප්‍රජාව අවතැන් කිරීමත්, පොළොව කොල්ලකෑමත් කර්මාන්ත හිමියන්ගේ අරමුණ බවත් ඒවා නැවත නැවතත් සිදුවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

විරෝධතාකරුවන්, නියෝජිතයන් කිහිපදෙනෙකුට කෙළ ගසා ඇති බව පොලිසිය පවසයි.

මෙම සමුළුවට ලෝකයේ රටවල් 100කින් නියෝජිතයන් 7000ක් පමණ සහභාගී වී ඇති අතර පතල් කර්මාන්තයේ පරිවර්තනයක් සිදුවිය යුතු බව බොහෝ කථිකයන් අවධාරණය කර ඇත.

28 වනදා ආරම්භවූ සමුළුව දින හතරක් පුරා පැවැත්වෙන අතර මෙවර එය පැවැත්වෙන්නේ හයවන වතාවට බව සංවිධායකයෝ පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)