ඕස්ට්‍රේලියාවේ තෙල් පිරිපහදුවක ගින්නක් හටගත්තේය.  ඕස්ට්‍රේලියාවේ​ තෙල් පිරිපහදු දෙකක් ඇති අතර ගින්න හටගත්තේ මෙල්බර්න් නුවරට නිරිත දෙසින් ජීලෝන්ග් හි පිහිටි විවා සමාගමට අයත් කෝරියෝ තෙල් පිරිපහදුවේය. ගින්න හටගැනීමට පෙර පිපිරුමක් ද සිදුවිය.

තෙල් පිරිපහදුව පිපිරුමෙන් සහ ගින්නෙන් විනාශ වී ඇතැයි එරට මාධ්‍ය පැවැසීය. ගින්න හටගත්තේ මධ්‍යම රාත්‍රියේය. ගින්න හේතුවෙන් ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ එරට පෙට්‍රල් සැපයුම පිළිබඳ බිය තවදුරටත් උග්‍ර වී ඇති ද පැවැසෙයි.

ගින්න පාලනය කර ගැනීමට, ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රයක් දැරීමට සිදුවුණු බව පැවැසෙයි. පිපිරීමට සහ ගින්නට හේතුව ‘උපකරණවල දෝෂයක්’ යැයි වික්ටෝරියා ගිනි නිවන ඒකකය පවසයි. ඒ සම්බඉන්ධයෙන් විමර්ශනයක් මේ වනවිට ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි.

මෙම පිරිපහදුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 50ක් සහ සමස්ත රටේ අවශ්‍යතාවයෙන් සියයට 10ක් සපුරාලන බව ද පැවැසෙයි.

මෙම පිරිපහදුව දිනකට තෙල් බැරල් 120,000ක් පමණ නිපදවන අතර, සේවකයන් 1,100කට වැඩි පිරිසක් එහි සේවය කරන බව ද වාර්තා වේ.

මැදපෙරදිග අර්බුදය හේතුවෙන්, පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ඩීසල් මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, ජනතාව කලබලයෙන් ඉන්ධන රැස් කිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් පවතින බව ද වාර්තා වේ. එමෙන්ම, ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යාම නිසා ගුවන් සමාගම් ද ඇතැම් සේවාවන් කප්පාදු කරමින් සිටින බව ද වාර්තා වේ.