ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් ගුවන් සමාගම නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා නොනවත්වා පැය 19 ක පරීක්ෂණ ගුවන් ගමනක යෙදී ඇත. 

මෙවැනි දීර්ඝ ගුවන් ගමනක් මගීන්ට, ගුවන් නියමුවන්ට හා කාර්යමණ්ඩලයට බලපාන ආකාරය එහිදී නිරීක්ෂණය කර තිබේ.

බොයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සඳහා යොදාගෙන ඇති අතර මගීන් 49දෙනකු එහි ගමන් කළ බවත් නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා කිලෝමීටර් 16200ක් ගමන් කල බවත් සඳහන් වේ.

එළඹෙන මාසයේදී ලන්ඩන් සිට සිඩ්නි දක්වා මෙවැනිම ගුවන් ගමනක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද ක්වෙන්ටාස් සමාගම පවසයි.

"මෙය ඇත්ත වශයෙන්ම ආකාශ තරණයේ සුවිශේෂී අවස්ථාවක්. පෘථිවිගෝලයේ එක් පැත්තක සිට අනෙක් පැත්තට ගමන් කිරීම සම්බන්ධ පෙරහුරුවක්, මෙය තවත් වේගවත් විය යුතු සේවාවක්" ක්වෙන්ටාස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)