සෝල්හිදීය (රොයිටර්)


වසර 2020 පැවැත්වෙන ටෝකියෝ සහ 2022 බීජිං ඔලිම්පික් උළෙළු සඳහා සහභාගී වීමට සූදානම් වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැක් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවෙමින් පැවැසූ බව, කොරියාවේ නිල පුවත් සේවය වන ‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ අද (31) වාර්තා කළේය.


කොරියානු නායකයා සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා අතර හමුව සිදුව ඇත්තේ සිකුරාදා, මාර්තු 30 වැනි බව පැවැසුණද ඔවුන් දෙදෙනා අතට අත දෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළ රොයිටර් පුවත් සේවය එම හමුව සිදුවූයේ කවදාද, කොහේදීද ගැන සඳහනක් නැති බව වාර්තා කර තිබිණි. 


‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ තෝමස් බැක් බ්‍රහස්පතින්දා, මාර්තු 29 වැනිදා ප්යොන්ග්යැන්ග් වෙත පැමිණි බව වාර්තා කළේය. පෙබරවාරි මාසයේ දකුණු කොරියාවේ පැවැති ශීත ඍතු ඔලිම්පික් උළෙල කොරියානු අර්බුදය තරමක් දුරට සමනය කළ අතර උතුරු හා දකුණු කොරියානු ක්‍රීඩික ක්‍රීඩිකාවෝ එක් ධජයක් යටතේ ආචාර පෙළපාලියේ ගමන් කළහ. 


ශීත ඍතු ඔලිම්පික් උළෙල ‘සාමයේ සංකේතයක්’ බවට පත් කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ එරට බලධාරීන් දුන් සහයෝගයට ස්තූති කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැක්ගේ සංචාරයේ එක් විශේෂ අරමුණක් බව ද ‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ වාර්තා කර තිබිණි. 


උතුරු කොරියාව සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට නායකයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සහ එහි සභාපති තෝමස් බැක්ට ස්තූතිවන්ත වී තිබෙන අතර ඔලිම්පික් කමිටුව උතුරු කොරියාව සමඟ කටයුතු කරන බවත් ඊට දේශපාලනය හෝ දේශපාලනික කරුණු බාධාවක් නොවන බවත් ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා මෙහිදි උතුරු කොරියානු නායකයාට පවසා ඇත. 




- 055