ඩෙන්මාර්කයේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය උප ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය සාමාන්‍ය ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයට වඩා බිහිසුණු, වේගයෙන් සම්ප්‍රේෂණය වන විකෘතියක් බවත් ඩෙන්මාර්ක සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හුනිකේ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රටේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. විද්‍යාඥයන් ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය ‘බී.ඒ.1’ ලෙසත් ‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේදය ‘බී.ඒ.2’ ලෙසත් නම් කර ඇත.

මේ වනවිට ඩෙන්මාර්කයේ ව්‍යාප්තවන ප්‍රධාන ‘කොවිඩ් 19’ ප්‍රභේදය ලෙස සැලකෙන්නේ ද ‘බී.ඒ.2’ විකෘතියයි. ‘බී.ඒ.1’ ප්‍රධාන ‘ඔමික්‍රෝන්’ විකෘතිය ද මේ වනවිට ලෝකයේ සෑම රටකටම පාහේ ව්‍යාප්ත වී ඇති අතර, ‘බී.ඒ.2’ ව්‍යාප්තිය දරුණු ලෙස වාර්තා වන්නේ ඩෙන්මාර්කයෙන් පමණි.

මහා බ්‍රිතාන්‍යය, ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍යයෙන් ද මේ වනවිට ‘බී.ඒ.2’ ආසාදිතයන් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. කෙසේ නමුත් ඩෙන්මාර්කයේ අසාමාන්‍ය ලෙස ‘බී.ඒ.2’ ව්‍යාප්තියක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පැහැදිලි කර තිබේ.

(රොයිටර්)