
ඉරානය සමග දැනට පවතින සාකච්ඡාවලට සාපේක්ෂව මැදපෙරදිග කලාපය තුළ වඩාත් පුළුල් හා ස්ථාවර එකඟතාවක් ඇති කරගැනීම සඳහා සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, පකිස්තානය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල් ද වහාම ‘ඒබ්‍රහම් ගිවිසුම‘ සඳහා හවුල් විය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
විදේශීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මේ බව අනාවරණය කර ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙන්නේ මෙම පුළුල් කලාපීය එකඟතාව අවසන් අදියර කරා රැගෙන යාමට නම් නව සාමාජිකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය දැනටමත් ඒබ්‍රහම් ගිවිසුමේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර, කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නව රටවල් හය ද ඊට සම්බන්ධ කරගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධානතම උපායමාර්ගික ඉලක්කයක් වී ඇත.
ඉරානය සමග ඇති කරගැනීමට නියමිත නව ගිවිසුම, කලාපයේ අනෙකුත් ප්‍රබල මුස්ලිම් සහ අරාබි රාජ්‍යයන් ද එකම රාමුවකට ගෙන එන පුළුල් දේශපාලන ස්ථාවරත්වයක කොටසක් විය යුතු බව ට්‍රම්ප් පරිපාලනයේ අදහසය යැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.
ඒබ්‍රහම් ගිවිසුම යනු මැදපෙරදිග කලාපයේ සාමය ඇති කිරීම සඳහා ඇති කරගත් ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් මාලාවකි. මෙයින් සිදු වූයේ ඊශ්‍රායලය සහ අරාබි මුස්ලිම් රටවල් කිහිපයක් අතර වසර ගණනාවක් පැවති සතුරුකම් අවසන් කර, එකිනෙකා නිල වශයෙන් පිළිගෙන මිත්‍රත්වයේ දෑත් දිගු කරගැනීමය. 2020දී ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් මෙම ගිවිසුම් අත්සන් තැබිණි.
මෙම ගිවිසුමට ‘ඒබ්‍රහම්’ යන නම තබා ඇත්තේ විශේෂ හේතුවක් ඇතුවය. යුදෙව් ආගම, ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි ආගම යන ප්‍රධාන ආගම් තුනටම සම්බන්ධ පොදු ආගමික නායකයකු ලෙස ‘ඒබ්‍රහම්’ සැලකෙයි. එ නිසා, මෙම ආගමිකයන් අතර ඇති පොදු බැඳීම සහ සාමය සංකේතවත් කිරීමට මෙම නම භාවිත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd