‘එක් චීනයක්‘ ප්‍රතිපත්තිය පිළිගැනීමටත් ඊට ගෞරව කිරීමටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම පියවර ඔහු මෙතෙක් අනුගමනය කරන ලද පැහැදිලි වෙනස් වීමක් යැයි ද විදෙස් පුවත් සේවා පෙන්වාදෙයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා 'එක් චීනයක්' ප්‍රතිපත්තියට එකඟත්වය සහ ගෞරවය පළ කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් මහතා සමඟ දුරකතන සංවාදයකට එක්වෙමිනි.

මෙම කරුණත් සමඟ දෙරට අතර සබඳතා වර්ධනය වීම මෙන්ම  ගෝලීය දේශපාලනයේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් තහවුරු වීමක් විශ්ලේෂකයෝ පෙන්වා දී තිබිණි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය කාලයේදී තමන් වෙනම රටක් ලෙස හඳුන්වා දෙන තායිවානය සමඟත් එරට ජනාධිපතිනිය සමඟත් සමීප සබඳතා පැවැත්වීය. එම සබඳතා චීනයේ අමනාපයට හේතුවිය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී තායිවාන ජනාධිපතිනියට දුරකතන ඇමතුමක් දෙමින් ඇමෙරිකාව 'එක් චීනයක්' ප්‍රතිපත්තියට සීමා වූ ක්‍රියා නොකළ යුතු බව කීවේය.

කෙසේ වෙතත් චීන ජනාධිපතිවරයා සමඟ පැවැති දුරකතන සංවාදයෙන් පසු චීනයේ තත්ත්වයත්, එක් චීනයක් යන ප්‍රතිපත්තිය පිළිගෙන ඇති අතරම තායිවානය චීනයේ කොටසක් යන්න ද පිළිගෙන ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාත් චීන ජනාධිපතිවරයාත් අතර දීර්ඝ දුරකතන සාකච්ඡාවක් පැවැති බව එම සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කළේය.  

''චීන ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති ට්‍රම්ප් එක් චීනයක් ප්‍රතිපත්තියට ගෞරව කරන්න එකඟ වුණා" යැයි එම නිවේදනයේ සඳහන්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර යහපත් සබඳතා පවත්වාගැනීමට තායිවානය කැමැති බව එරට ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග් මහත්මියගේ ප්‍රකාශකයකු ජනාධිපතිනිය උපුටා දක්වමින් සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන් ජනවාරි 20 වැනිදා සිට මේ දක්වා චීන ඇමෙරිකා නායකයන් දුරකතන සංවාදයක් පවත්වා නැත. දුරකතන ඇමතුමක් දීමෙන් චීන ජනාධිපතිවරයා උපහාසයටත් අපහාසයටත් පත්වනු ඇති බවත් එම තොරතුරු මාධ්‍යයට අනාවරණය වනු ඇති බවටත් චීනය පසුගිය කාලයේදී අවිනිශ්චිත තත්ත්වයක සිට ඇති බවත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.