හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති සියලු දූෂණ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසයි. ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයටය.

පසුගිය සිකුරාදා (21) හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පාකිස්තාන මැතිවරණ කොමිසම ඒකමතික තීන්දු කළේය. එම තීන්දුව අනුව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 5 ක් යනතුරු මන්ත්‍රී ධුරයක් සඳහා තරග කිරීම තහනම් වෙයි.

පාකිස්තාන මැතිවරණ කොමිසම මෙසේ තීන්දුවක් ලබා දී ඇත්තේ ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා මුල්කොට ගනිමිනි.

පාකිස්තාන මැතිවරණ කොමිසම ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන්, නීති මගින් කටයුතු කිරීමට ද ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සූදානම් වෙයි.

ඉම්රාන් ඛාන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ පාකිස්තාන ‘මුස්ලිම් ලීගය’ දේශපාලන කණ්ඩායමය. වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, ‘මුස්ලිම් ලීගය’ පක්ෂයේ නායකයාය. ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කළේ ද ෂෙහ්බාස් ෂරීෆ් මැදිහත් වෙමිනි.

විදෙස් සම්භාවනීය අමුත්තන්, පාකිස්කතාන රජයට ලබා දුන් ත්‍යාග ඉම්රාන් ඛාන් සිය සන්නතකගේ තබා ගැනීම ඉම්රාන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය. එම ත්‍යාග භාණ්ඩ සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් තමන් දැනුවත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)