ලෝකයටම බලපෑම් එල්ල කිරීමට පටන්ගෙන ඇති ‘එල් නීනෝ’ විපරිත කාලගුණ පෙරළිය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් අනතුරු අඟවා ඇත. ඒ, ‘එල් නීනෝ’ බලපෑම හේතුවෙන් මුළු ලෝකයම දැඩි අවදානම් තත්ත්වයකට පත් ව ඇතැයි පෙන්වා දෙමිණි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම තත්ත්වය අවම වශයෙන් 2027 පෙබරවාරි දක්වා පැවැතිය හැකි යැයි පැවැසෙයි. 

1950 වසරෙන් පසුව වාර්තා වන බලවත්ම එල් නිනෝ විපරිත කාලගුණ පෙරළිය මෙය වනු ඇති බව  ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අවධාරණය කර ඇත. ඒ, ලොව නන්දෙසින් ලබාගත් කාලගුණ දත්ත අනුවය.

ශාන්තිකර සාගරයේ සිදුවන සුළං රටා වෙනස්වීමත් සමඟ උණුසුම් ජලය නැගෙනහිර දෙසට ගලා යෑමේ සංසිද්ධිය ‘එල් නිනෝ’ ලෙස හැඳින්වෙයි. මෙය ස්පාඤ්ඤ වදනකි. මෙහි අරුත ‘දේව දරුවා’ යන්නය.

‘එල් නීනෝ’ හේතුවෙන්, ලොව කාලගුණ රටා මුළුමනින්ම වෙනස් වී ඇත. කාලගුණ විද්‍යාඥයන් මෙම ‘එල් නීනෝ’ විපරිත කාලගුණ පෙරැළිය නම් කර ඇත්තේ ‘සුපිරි එල් නීනෝ’ යනුවෙනි. 

ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් පමණක් නොව, රට රටවල් අභ්‍යන්තරයේ කාලගුණ රටා ද ‘අවුල්’ කිරීමට ‘එල් නීනෝ’ සමත් වී ඇත. දැඩි වියලි කාලගුණය සමග මහ වැසි ඇද හැලීම ද සුපිරි එල් නීනෝ කාලගුණ පෙරළියේ ලක්ෂණයකි.

ශාන්තිකර සාගරයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා සෙල්සියස් අංශක 2කට වඩා ඉහළ ගොස් ඇති බවත්, එය ඉදිරියේදී සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 4 ක් තෙක් ඉහළ යනු ඇති බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පුරෝකතනය කර තිබේ.

‘අපගේ ඇස් පනාපිටම එල් නිනෝ තත්ත්වය විශාල ලෙස වර්ධනය වෙමින් පවතිනවා. පෘථිවිය මීට පෙර අත්නොවිඳි භයානක තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවට විද්‍යාත්මක සාක්ෂි පැහැදිලියි” යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් සෙලෙස්ටේ සෝලෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, මෙම ‘සුපිරි එල් නීනෝ’ කාලගුණ පෙරළිය හේතුවෙන්,  ලොව පුරා ජනතාවට සහ ආර්ථිකයන්ට දැඩි බලපෑමක් එල්ල වීම වළක්වා ගත නොහැකි වනු ඇති බවය. 

විපරිත කාලගුණ තත්ත්වයන් හේතුවෙන් සිදුවන මරණ, උන්හිටිතැන් අහිමිවීම සහ පාරිසරික හානි අවම කරගැනීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය ආධාර සූදානම් කිරීමටත් රට රටවල් මේ වනවිටත් නව සැලසුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි. එසේම මෙම කාලගුණික අනාවැකි හැකි තරම් ජනතාව අතරට ගෙන යාමට දැවැන්ත වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබේ.