ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් විසින් ඉදිරිපත් කරන ලද විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව එරට වෛද්‍යවරුන්, නිතිඥයින් සහ ගුවන් නියමුවන් වීථි බැස විරෝධතාවයේ යෙදුන බව වාර්තා වේ.

නීතීඥයින් කළු කබා හැඳ සිටි අතර වෛද්‍යවරු සුදු කබා වලින් ද ගුවන් නියමුවන් ඔවුන්ගේ නිල ඇඳුමින් ද සැරසී සිටි බව මාධ්‍ය වාර්තා කර ඇත. 

සටන් පාඨ කියමින් නලා පිඹිමින් දැන්වීම් අලවමින් ඔවුහු පැරිස් නගර මධ්‍යයට ගමන් කලහ.

මෙතෙක් ප්‍රංශයේ ක්‍රියාත්මක කෙරුණු එකිනෙකට වෙනස් විශාම වැටුප් ක්‍රම 42ක් වෙනුවට ප්‍රසාද ලකුණු මත පාදක වූ එක් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා මැක්‍රන්ගේ රජය විසින් යෝජනා ඉදිරිපත් කර තිබිණි. මැක්‍රන් පවසන්නේ මෙම නව ක්‍රමය වඩාත් සාධාරණ බවයි.

එහෙත් සමහර වෘත්තිකයෝ මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කරති.

පසුගිය සතියේ පැරිසියේ ප්‍රවාහන සේවකයින් ද විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව විරෝධතා පැවැත් වූහ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)