බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් නියත ජයක් ලබාගත් කොන්සර්වෙටිවේ පක්ෂ නායක ඩේවිඩ් කැමරන් පසුදා දහවල එලිසබත් මහා රැජින හමුවී නව රජයේ අගමැති තනතුර සඳහා පත්වීම ලබාගත්තේය.

ඒ විගසින් අගමැති නිල නිවාසයට පැමිණි නව අගමැති වරයා අභිනව කැබිනට් මණ්ඩලය නම්කළ අතර කාලය අතපසු නොකර රාජ්‍ය පාලනයේ වැඩ කටයුතු පුරුදු පරිදි කරගෙන යාම ආරම්භ කළේය.

මේ අතර මැතිවරණයෙන් පරාජයට පත්වූ අනෙකුත් ප්‍රධාන පක්ෂ තුනේ නායකයෝ ප්‍රතිපල නිකුත්වී අවසන් වන්නටත් පෙරාතුව සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

මෙවර වඩාත්ම දරුණු පරාජයක් හිමිවුයේ පසුගිය රජයේ කොටස්කරුවකු ලෙස සිටි ලිබරල් ඩෙමොක්‍රටටික් පක්ෂයයටයි. 2010 මැතිවරණයේදී ඔවුන් ආසන 55 ක් හිමිකරගත්තද  මේවර එම පක්ෂයට ලබාගත හැකිවුයේ ආසන 8 ක් පමණය. එම පක්ෂයේ ප්‍රබල දේශපාලඥයින් කිහිපදෙනෙක්ම පරාජය වුහ. ඒ අතර වින්ස් කේබල්, සයිමන් හියුස් සහ හිටපු නායක චාර්ල්ස් කෙනඩිද වෙති. මෙම ප්‍රතිඵල ආ සැණින් එම පක්ෂයේ නායක නික් ක්ලෙග් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය.

බොහෝදෙනා බලාපොරොත්තු නොවූ අන්දමට මෙවර මැතිවරණයෙන් කම්කරු පක්ෂයටද ජයගැනීමට හෝ ප්‍රධාන විරුද්ධ වාදියාවූ කොන්සර්වේටිව් පක්ෂයේ බලය අඩපන කිරීමට හෝ  නොහැකි විය. පක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් මැතිවරණ පරාජයේ සම්පුර්ණ වගකීම තමන් බාරගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයින්හට, මන්ත්‍රී වරුන්හට සහ චන්දය දුන් ජනතාවට සිය බලවත් කනගාටුව පළකර සිටින බවත් පවසමින් ඔවුහු පක්ෂ නායකත්වයෙන් වහාම ඉල්ලා අස්වුහ.

සිංහල සහ දෙමළ අවුරුදු සමයේ  මිලිබෑන්ඩ් දෙමළ ප්‍රජාව වෙනුවෙන් පමණක් අවුරුදු සුභ පැතුමක් නිකුත් කළේය. ඒ ගැන එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් ඔවුනගේ අප්‍රසාදය මිලිබෑන්ඩ් සහ කම්කරු පක්ෂය වෙත පළකළහ.

එඩ් මිලිබෑන්ඩ්ගේ මෙම පක්ෂපාති ක්‍රියා පිළිවෙත ගැන උරණවූ සමහරු කම්කරු පක්ෂයට විරුද්ධව ප්‍රචාරක කටයුතු සංවිධානය කළහ.

වර්ගවාදී ස්ථාවරයක සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙනගිය බවට චෝදනා එල්ලවූ එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයට ලබාගත් හැකිවුයේ ආසනායක් පමණකි. එයද 2010 දී කෝන්සර්වෙටිව් පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රී වරයාම මෙවර නිදහස් පක්ෂයෙන් තරග කොට ලබාගත් ජයකි. එම පක්ෂයේ නායක නෛජල් ඵරාජ් ද පරාජයට පත්විය. ඔහුද එවෙලේම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය.

එම පක්ෂයෙන් ඊසාන දිග හැම්ෂයර් ආසනය සඳහා තරඟ කළ රොබර්ට් බ්ලේ පසුගියදා එම ආසනය සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟකළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධනට මරණ තර්ජනයක් එල්ල කළ කතාවක් වීඩියෝ පටයක්ද සහිතව එංගලන්තයේ සියලුම ජන මාධ්‍ය වලින් ප්‍රචාරය කෙරුණි.

මෙවර මැතිවරණය එංගලන්තයේ වඩාත්ම තීරණාත්මක එකක් වන බවට බොහෝ නිරීක්ෂකයින් පැවසුවද අවසානයේ ඒ සියල්ලගේ අංජනම් එළි පරදවමින් කොන්සර්වේටිව් පක්ෂය නියත ජයක් ලබාගත්තේ මැතිසබයේ බහුතරයක්ද ඇතිවය.

cameron ed-miliband-11 lib-dems-defeat-election nigel-farage-frown