විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී සහභාගී වන "අකුරු මැකී නෑ" සංගීත ප්‍රසංගය මැයි මස 16 වැනි සෙනසුරාදා ලන්ඩනයේ වෙම්බ්ලි හි ඕකින්ටන් මැනාර් පාසල් ශ්‍රවනාගාරයේදී සවස 6.30 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙහි දෙවැනි ප්‍රසංගය "මාරම්බරී" ලෙසින් මැයි 17 වැනි ඉරිදා සවස 4 සිට රාත්‍රී 8 දක්වා බර්මින්හැම් ඇස්ටෝන්හි "ද ඩ්‍රම්" ශාලාවේදී පැවැත්වේ. 

මෙය කවෙන්ට්‍රි, ලෙස්ටර්, මැන්චෙස්ටර්, නොටින්හැම්, ලීඩ්ස්, නිව් කාසල්, ලිවර් පූල් මෙන්ම ස්කොට්ලන්තය වැනි ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකික ගීත ලෝලීන්හට ලැබෙන මහඟු අවස්ථාවකි.

මෙම සංචාරයේදී සංගීතය සැපයීමට එඩ්වඩ් සමග ශ්‍රී ලංකාවෙන් දක්ෂ ශිල්පීන් කිහිප දෙනකුම එංගලන්තයට පැමිණීමට නියමිතය. 

ප්‍රසංග දෙකින්ම උපයන සියලු මුදල් අභිනවයෙන් ඉදිවන බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ විහාර ගොඩනැගිලි අරමුදලට බැර කෙරේ. බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ දායක සභාවත් ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානයත් මෙම ප්‍රසංග දෙකම සංවිධානය කරනු ලබයි.

එඩ්වර්ඩ් චරිතා යුවල සහ සංගීත කණ්ඩායම මෙම ප්‍රසංග දෙක සඳහාම සහභාගී වන්නේ කිසිදු අයකිරීමකින් තොරවය.

සදා නිමවූ පසු බර්මින්හැම් මහාවිහාර නව ගොඩනැඟිල්ල යුරෝපයේ ඇති විශාලතම බෞද්ධ විහාරස්ථානය වනු ඇත.