අම්මාන්හිදීය (රොයිටර්) 
 
සිරියානු කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප්‍රදේශය වන නැගෙනහිර ගූථා ප්‍රදේශයට දිගින් දිගටම එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිය දහස් ගණනක් මියගොස් තිබෙන අවස්ථාවක සටන් විරාමයක් කැඳවන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (22) නැවත වරක් සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.

 
අටවැනි වසරටත් දිග්ගැස්සෙමින් තිබෙන සිරියානු සිවිල් යුද්ධයේ තවත් බිහිසුණු යුද්ධයක් බවට පත් කරමින් සිරියාවේ අගනුවර ආසන්නයේ පිහිටි නැගෙනහිර ගූථා ප්‍රදේශයට සිරියානු රජයේ හමුදා අදත් ගුවන් ප්‍රහාර එල්ල කළේය. මේ වනවිට පසුගිය ඉරිදා (18) වැනිදා සිට අඛණ්ඩව නැගෙනහිර ගූථා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල වන අතර මේ දක්වා එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවන් 150ක් ද ඇතුළුව 368ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සිරියානු මානව හිමිකම් නිරීක්ෂණය සංවිධානය සඳහන් කළේය. 
 
සංහාරයක් සිදුවීමට පෙර සටන් විරාමයක් කැඳවන්නැයි එක්සත් ජාතීන්ගේ අද (22) ඉල්ලා සිටියේ මෙම සිදුවීම් දාමයත් සමඟය. මේ වනවිට සිරියානු රජයට බටහිර රටවලින් ද දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ.
 
“සංහාරයක් සිදුවීම නැවැත්විය යුතුයි. මොකද ඉතිහාසය අප විනිශ්චය කරනවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරියාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ස්ටෆාන් ද මිස්ථූරා පැවසීය. එමෙන්ම සටන් විරාමයක් කැඳවීම සඳහා මැදිහත් වන්නැයි හෙතෙම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ද ඉල්ලා සිටියේය. 
 
055