නිකරුණේ සිදුවන ජීවිත හානියවැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (6) ඉරාක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඉරාකයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් මේ වනවිට සියයකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී තිබේ.ඉහළ විරැකියාව, දුර්වල රාජ්‍ය සේවා සහ රටේ සිදුවන දූෂණයට විරෝධය පළ කරමින් දහස් ගණනක් විරෝධවතාවලට එක්ව සිටිති.

“දින පහක් මුළුල්ලේ මරණ සිදුවුණා. ජනතාව තුවාල ලැබුවා : මෙය අවසන් විය යුතු” යැයි ඉරාකය වෙනුවෙන් පත් කර තිබෙන එක්සත් ජාතීන්ගේ සහාය දූත පිරිසේ ජෙනීන් හෙනිස් ප්‍රකාශ කළාය.

ජීවිත හානිවලට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඇය කීවාය.

සෙනසුරාදා (5) දිනයේදීද බැග්ඩෑඞ් අගනුවරදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වුණු අතර ආරක්ෂක වෙතින් ඊට බාධා එල්ල විය. අගනුවරදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පස් දෙනකු මියගිය බව වාර්තා විය. ආරක්ෂක අංශ වෙඩි තැබීම් සිදු කර ඇති බවත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවත් තවදුරටත් වාර්තා විය.

පසුගිය අඟහරුවාදා ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර අතරවාරයේදී ඇති වූ ගැටුම් හේතුවෙන් 99 දෙනකු මියගොස් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉරාක පාර්ලිමේන්තුවේ මානව හිමිකම් කොමිසම සඳහන් කළේය. මේ වනවිට එම විරෝධතා ඉරාකයේ දකුණු දෙසටද ව්‍යාප්ත වී ඇතැයි පැවසේ.

ඉස්ලාමික් ස්ටේට් සංවිධානය පරාජයට පත්වීමෙන් පසු ඉරාකය තුළ ඇති වූ මාරාන්තික ගැටුම්කාරී තත්ත්වය මෙය වේ. වසර 2017 දී ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය ඉරාකය තුළ පරාජයට පත්වූ ප්‍රකාශයට පත් කෙරුණි.

මෙම විරෝධතා ඉරාක අගමැති අදෙල් අබ්දෙල් ප්‍රමුඛ ආණ්ඩුව හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝගය යැයි පැවසේ. හෙතෙම බලයට පත්වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.

ඒ.එෆ්.පී./රොයිටර්ස් 

055