මාලි රාජ්‍යයේදී සාම සාධක හමුදා ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරත වෙමින් සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට පසුගිය සිකුරාදා (25) ප්‍රහාරයක් එල්ල විය.

එම ප්‍රහාරයෙන් සාම සාධක කටයුතුවල නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයකු හා කෝප්‍රල්වරයකු මියගිය අතර තවත් හයදෙනෙක් තුවාල ලැබූහ. 

“ප්‍රහාරයෙන් මියගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් මම කනගාටුව පළ කරමි. ඔවුන්ගේ පවුල්වලට ද කනගාටුව පළ කරන අතර  තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුව පතමි. 

ජාත්‍යන්තර නීතිය අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක වෙත එල්ල වූ ප්‍රහාරය යුද අපරාධයක්. ඉක්මනින් විමර්ශන කර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන වින්දිතයන්ට යුක්තිය ඉටු කළ යුතුයි. 

මෙවැනි ලැජ්ජා සහගත ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සාමය ස්ථාපිත කිරීමේ මෙහෙයුම් නැවැත්විය නොහැකියි. එමෙන්ම මෙවැනි බියගුළු ප්‍රහාරවලින් සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් මාලි රාජ්‍යයට සහ එරට ජනතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදෙන සහයෝගය නැවැත්විය නොහැකියි”. 

055