(හර්ෂණ තුෂාර සිල්වා)
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ 36 වැනි සැසිවාරය අද (11) ආරම්භ විය.  එහි ආරම්භක සැසියේදී මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එහිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අදහස් දැක්වීමට නියමිතය. සෙයිද් රාල් අල් හුසෙන් මානව හිමිකම්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇත. 
 
වසර 30ක් මුළුල්ලේ පැවැති සිවිල් යුද්ධයේ අවසාන සමයේදී සිදු වූවා යැයි කියන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, දිගුකාලීන සාමය අත්පත් කරගැනීම, සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ස්ථාපිත කිරීම ආදී කරුණු ඇතුළත් කරමින් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනවක් ඉදිරිපත් විය. ඊට ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් සම අනුග්‍රහය දැක්වීය. 
 
අදාළ යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර දෙකක් ලබාදෙන්නැයි ඉල්ලමින් පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රීලංකාව, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක සම අනුග්‍රහාය යටතේ යෝජානවක් ඉදිරිපත් කෙරුණි. එහිදි අදාළ යෝජනාව සම්මත වූ අතර 2015 30/1 නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් හිමිවිය. 
 
පසුගිය මාර්තු මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ද මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදි.
 
මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලදී ශ්‍රී ලංකාව ධනාත්මක ප්‍රගතියක් පෙන්නුම් කළ ද සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව පසුගාමී තත්ත්වයක පසුවන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා කීය.