ඇමෙරිකාව කළ ආකාරයෙන් තමන් ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකු  නෙරපීමට කටයුතු නොකරන බව රුසියා  ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී පරිගණක හැකර්වරුන් මැදිහත් වී ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට රුසියාව හා එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෘජුවම මැදිහත් වූ බවට ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් එරට පුවත් සේවා පසුගිය කාලය මුළුල්ලේ වාර්තා කළේය.

ඊට පියවරක් ලෙස සම්බාධක පනවන්නැයි ඇමෙරිකා සෙනට් මණ්ඩලය යෝජනා කළ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ඊට ප්‍රථම ඇමෙරිකාවේ සිටි රුසියා  තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකුට පැය 72ක් ඇතුළත එරටින් පිටවන්නැයි නියෝග කළේය.

ඇමෙරිකාව එම පියවර ගැනීමත් සමඟ ඊට පළිගැනීමක් ලෙස රුසියාවේ සිටින ඇමෙරිකා නිලධාරීන් 35 දෙනකු එරටින් නෙරපිය යුතු යැයි විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් යෝජනා කර තිබිණි. එසේ වුවද ඉන් පසු ප්‍රකාශයක් කරමින් තමන් ඇමෙරිකා කළ දේ නොකරන බව රුසියානු ජනාධිපතිවරයා පැවැසීය. 

ඬේලිමේල් ඇසුරිනි