ඉන්දියාවේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ එය ජන ජීවිතය අඩාල කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කනස්සල්ල පළ කර ඇත.

‘රටේ ප්‍රාන්ත සියල්ලේම පාහේ උෂ්ණත්වය වේගෙයන් වැඩිවන බවක් පෙනෙනවා. එය අසාමාන්‍ය වැඩිවීමක්.’ යැයි අග්‍රාමාත්‍ය මෝදි කාලගුණ විද්‍යාඥයන් ලබා දුන් තොරතුරු පාදක කර ගනිමින් ප්‍රාන්ත මහ ඇමැතිවරුන් දැනුවත් කළ බව ද පැවැසෙයි.

ඉන්දියාවේ මැයි සහ ජූනි මාසවල උෂ්ණත්වය අධික ලෙස ඉහළ යයි. කෙසේ නමුත් මෙම 2022 වසරේ උෂ්ණත්වය ඉහළ යෑම ආරම්භ වූයේ මාර්තු මාසයේ සිටය.

මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත 15 කට දැඩි උණුසුම් කාලගුණය බලපෑම් එල්ල කර තිබේ. සෞම්‍ය කාලගුණයකට ප්‍රකට හිමාචල් ප්‍රාන්තයේ ද උෂ්ණත්වය අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. හිමාචල් යනු උතුරු ඉන්දියාවේ ප්‍රාන්තයකි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා තිබේ.

(එන්.ඩී.ටීවී.)