මේජර් ජනරාල් උදය මැදවල මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස පසුගියදා වැඩ බාරගත්තේය.

උදය අනිල් බණ්ඩාර මැදවල ශ්‍රී ලංකා සන්නද්ධ බළකායේ නිලධරයෙකි. ඔහු නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ක්‍රිකට්, බැඩ්මින්ටන්, මළල ක්‍රීඩා හා කැඩෙට් යන ක්‍රීඩාවලින් දස්කම් දැක්වූ ඔහු 1981 දී යුද හමුදාවට බැඳුණේය.

හිටපු යුද හමුදාපති ජනරාල් රොහාන් දළුවත්තගේ හමුදා සහකාර ලෙස ක්‍රියා කළ ඔහු ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේද සහායකයෙක් විය. යාපනය කිලාලියේ පිහිටි 554 පාබල හමුදාවේ අණදෙන නිලධරයා වූ ඔහු යුද හමුදා සන්නද්ධ බළකායේ ඉහළ තනතුරු රැසක්ම හෙබවීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයාද වූ මැදවල වරක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාද විය. ඔහුගේ යුද හමුදා සේවය 34 වසරකි. ඉන්දියාව, පාකිස්තානය, සිංගප්පූරුව හා චෙක් ජනරජයේ විශේෂ පුහුණු පාඨමාලා හැදෑරූ ඔහු ඉන්දියාවේ ආරක්ෂක විද්‍යා පීඨයේද, නවසීලන්තයේ ආරක්ෂක විද්‍යාලයේද විද්‍යාර්ථියෙකි. ආරක්ෂක හා ක්‍රමෝපාය අධ්‍යාපනය පිළිබඳ මදුරාසි සරසවියේ එම්.එස්.සී උපාධිය හිමිකරගත් ඔහු සාමසාධක මෙහෙයුම් පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරා ඇත. ඇමරිකාවේ රෝඩ් දූපතේ ආරක්ෂක විද්‍යා පීඨයේ ඔහු විශේෂ පාඨමාලාවක් හැදෑරීය.

චීනයේ ජාතික ආරක්ෂක සරසවියේ උපාධිධරයකු වන ඔහු එතෙර මෙතෙර සරසවි කිහිපයකම බාහිර කථිකාචාර්යවරයෙක්ද විය.

යුද හමුදා ‘හෙළවිරු රස උදානය‘ නමින් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්හි කෑම වර්ග හඳුන්වාදීමටද කටයුතු කළේය. රණශූර, උත්තම සේවා, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්ද දිනා සිටි ඔහු වනසතුන්ගේ ඡායාරූප ගැනීමේද දක්ෂයෙකි.

IMG_6958