උතුරු පකිස්තානයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් 30 දෙනෙකු පමණ ද ,  උතුරු ඉන්දියාවේ ගංවතුර හා නායයාම් හේතුවෙන් 25 දෙනෙකු පමණ ද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍රාල් දිස්ත්‍රික්කයේ   දේවස්ථානයක සිටි බැතිමතුන් සමගින් එම දේවස්ථානය ජලපහරේ ගසා ගෙන ගිය බවට පකිස්තානය කියයි.

අයහපත් කාලගුණය හේතුවෙන් සහන සැලසීම් සහ මුදවාගැනීමේ මෙහෙයුම් ද අසාර්ථක වී ඇති බව බලධාරීහු පවසති.  නිවාස විශාල සංඛ්‍යාවක් ජලපහරට ගසාගෙන ගොස් ඇති අතර හමුදා මුරපොලක් ද ගංවතුරට ගසාගෙන යාම හේතුවෙන් සෙබළුන් අට දෙනෙකු අතුරුදහන් වී තිබේ.  

උතුරු ඉන්දියාවේ වැඩිපුරම හානි  සිදුවී ඇත්තේ උත්තරඛාන්ඩ් සහ අරුන්චාල් යන ප්‍රදේශ වලට බව වාර්තා වෙයි. ඒ ප්‍රදේශ වල නායයෑම් හේතුවෙන් ගම්මාන රැසක් නොපෙනී ගොස් ඇති අතර අධිවේගී මාර්ගද ජලයෙන් යටවී තිබේ.