උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් යවා ඇතැයි වාර්තා වේ. මෙය සති දෙකක කාලයක් ඇතුලත උතුරු කොරියාව විසින් ජපානයට ඉහලින් යවන ලද දෙවන මිසයිලය  වේ. 
දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසන්නේ කිලෝමීටර් 770ක පමණ උසකින් ගමන් කල මිසයිලය කිලෝමීටර් 3700ක් දුර ගමන් කර ජපානයේ හොකයිඩො දූපත් වලට එපිටින් ශාන්තිකර සාගරයට පතිත වී ඇති බවයි. මෙය මැදි දුර මිසයිලයක් බවත් කලින් එල්ල කරන ලද මිසයිලයට වඩා වැඩි උසකින් හා වැඩි දුරක් ගමන් කර ඇති බවත් පැවසේ. උතුරු කොරියාව විසින් පහරදෙන බවට අනතුරු ඇඟවූ ඇමරිකාවට අයත් ගුවෑම් දූපත් පිහිටා තිබෙන්නේ ද මෙවැනි දුර ප්‍රමාණයක් ඇතුලත කලාපයකය.
මේ සම්බන්ධව සිය බලවත් විරෝධය පල කර ඇති ජපාන අගමැති ශින්සුවා අබේ පවසා ඇත්තේ උතුරු කොරියාව මෙවැනි භයානක ක්‍රියාදාමයන් දිගින් දිගටම අනුගමනය කරන්නේ නම් ඔවුන්ගේ අනාගතය අඳුරු වනු ඇති බවයි. 
උතුරු කොරියාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවා වන චීනයත් උතුරු කොරියානු ශ්‍රමිකයන් මත යැපෙන රුසියාවත් උතුරු කොරියාවේ මෙම සාහසික ක්‍රියා සම්බන්ධව සෘජු ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලේසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මේ අතර දකුණු කොරියාව සිය ආරක්ෂක මණ්ඩලය කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද වාර්තා වේ.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)