ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව සම්බන්ධ කරමින් නව වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අද (16) ඇමෙරිකානු සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය.

මෙය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ තවත් වෙළෙඳ ජයග්‍රහණයකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වනවිට දෝෂාභියෝග විභාගයකට මුහුණ දී සිටී.

‘යු.එස්.සී.එම්.ඒ’ ගිවිසුම යනුවෙන් මෙම ගිවිසුම් නම් කර තිබූ අතර ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව 2018 වසරේදී මෙම ගිවිසුමට අත්සන් තැබීය. සෙනට් සභාවේ අනුමැතිය හිමි වීමත් සමඟ නුදුරේදීම මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිතය.

සෙනට් සභාවේදී ගිවිසුමට පක්ෂව ඡන්ද 89ක් ලැබුණු අතර විපක්ෂ ඡන්ද 10ක් ලැබිණි.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනිවාර්යයෙන්ම මෙම ගිවිසුමට අත්සන් තබනු ඇතැයි ද පැවසේ.

මුල් ගිවිසුමට වඩා සෙනට් සභාවේදී අනුමැතිය ලැබුණු ගිවිසුමේ වෙනස් කිහිපයක් සිදු කර ඇත. ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පසුගිය මාසයේදී මෙම ගිවිසුමට අනුමැතිය හිමි වූ අතර එසේ අනුමැතිය හිමිවූයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමෙන් පසුවය.

මෙම නව ගිවිසුම 1994 වසරේදී අත්සන් තලබන උතුරු ඇමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කරනු ඇති අතර එම ගිවිසුමෙන් ඉවත් වන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම තර්ජනය කළේය. 

ඒ.එෆ්.පී. 

055