එදිරිවාදිකම් නවත්වා, යුදෙව් ඊශ්‍රායලයට සමීප වෙමින්, ඊශ්‍රායලය සමග යහපත් සබඳතා වර්ධනය කර ගැනීමටත්, සිරියා ඊශ්‍රායල ආරක්ෂක සහයෝගීතාවක් ඇති කර ගැනීමටත් තමන් සූදානම් බව සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා පවසයි.

සිරියානු ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, අල් ජසීරා පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. අල් ෂාරා බලයට පත් වූයේ සිරියානු විපක්ෂය එරට බලය අත්පත් කර ගනිද්දීය. 

විපක්ෂය බලය අත්පත් කර ගනිද්දී, බලයේ සිටි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් බලය අතහැර රටින් පලා ගියේය. අල් ෂාරා දේශපාලනයට පිවිස, සිරියාවේ ජනාධිපති බවට පත්වූයේ ඉන්පසුවය. සිරියාවේ ජනාධිපති ධුරයට පත්වීමට පෙර, අල් ෂාරා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයෙක් විය.

සිරියානු ජනාධිපති අල් ෂාරා සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ යහපත් සබඳතා පවතී. අල් ෂාරා ධවල මන්දිරයට ගොස් ට්‍රම්ප් හමුවී ඇත. සිරියාවේ සියල්ල සිදුවන්නේ තමන්ගේ කැමැත්තට යැයි ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පවසා තිබේ. අසාද් පාලන සමයේ, ත්‍රස්ත රාජ්‍යයක් ලෙස සිරියාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමටත් ඇතැම් සම්බාධක මුළුමනින්ම ඉවත් කිරීමටත් ඇමෙරිකාව කටයුතු කර ඇත.

සිරියාව සහ ඊශ්‍රායලය අසල්වැසියන් වන අතර, දෙපාර්ශ්වය අතරේ ගැටුම් පවතින්නේ දශක ගණනක් තිස්සේය. 1967 දී ඊශ්‍රායලය සිරියාවට යත් ගෝලාන් කඳුකරය අල්ලා ගත් අතර, අද ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසකි. ඉරාන හිතවාදී සටන්කාමීන්, සිරියාවේ ක්‍රියාත්මක වන අතර, මොවුන් ඊශ්‍රායලයේ ඉලක්කවලට පහර දෙයි.

සිරියානු ජනාධිපති අල් ෂාරාගේ රජය සහ මෙම සටන්කාමීන් අතරේ ද ගැටුම් පවතී. එම සටන්කාමීන් මර්දනය කර ගන්නැයි සිරියානු ජනාධිපතිවරයාට, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් උපදෙස් දී ඇත. 

ආරක්ෂක සහයෝගීතාව හරහා දේශසීමා ගැටුම් නැවැත්වීම ප්‍රධාන අරමුණ බව අල් ෂාරා, අල් ජසීරා පුවත් සේවය සමග පවසා ඇත. මෙම ආරක්ෂක සහායෝගීතාව, කලාපීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට හේතුවක් වේවි යැයි අල් ෂාරා අල් ජසීරා හමුවේ පෙන්වා දී තිබේ.