එම යෝජනා සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් විසිනි. ඒ, අදාළ අවි අලෙවිය සහ බුල්ඩෝසර් අලෙවිය, විදේශ ආධාර පනතේ සහ අවි අපනයන පාලන පනතේ නිර්ණායක උල්ලංඝනය කරන බව පෙන්වා දෙමිණි. සැන්ඩර්ස්ගේ යෝජනාවට ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ සහාය හිමිවිය.

ඇමෙරිකන් ඩොලර් මිලියන 295ක් වටිනා කැටපිලර් වර්ගයේ බුල්ඩෝසර් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 151.8 ක් වටිනා බෝම්බ තොගයක් ඊශ්‍රායලයට අලෙවි කිරීමට නියමිතව තිබූ අතර, ඊශ්‍රායලය මෙම බුල්ඩෝසර් යොදා ගනිමින් ගාසා සහ බටහිර ඉවුරේ නිවාස කඩා බිඳ දමන බවටද සැන්ඩර්ස් පෙන්වා දුන්නේය.

බුල්ඩෝසර් අලෙවිය නැවැත්වීමට ඉදිරිපත් වූ පළමු යෝජනාවට විරුද්ධව ඡන්ද 59ක් සහ පක්ෂව ඡන්ද 40ක් හිමි වූ අතර, බෝම්බ අලෙවියට එරෙහි වූ දෙවන යෝජනාව ඡන්ද 63ට 36ක් ලෙස පරාජයට පත් විය.

දශක ගණනාවක සිට කොංග්‍රස් මණ්ඩලය තුළ ඊශ්‍රායලය කෙරෙහි පවතින ද්විපාර්ශ්වික සහයෝගය හේතුවෙන් මෙවැනි යෝජනා සම්මත වීම අපහසු වුව ද, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට  ඊශ්‍රායලයට සහ ඇමෙරිකන් පරිපාලනයට බලපෑම් කිරීම මෙමඟින් බලාපොරොත්තු වූ බව යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඩිමොක්‍රටික්වරු පවසති.

ඊශ්‍රායලය ප්‍රකාශ කරන්නේ තමන් කිසිදු විටෙක සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවත්, තම ප්‍රහාර එල්ල කරන්නේ සටන්කාමීන් සහ හමුදා යටිතල පහසුකම් අක්‍රිය කිරීමට පමණක් බවත්ය.

        මීට පෙර පසුගිය ජූලි මාසයේදී මෙවැනිම යෝජනාවක් සෙනෙට් මණ්ඩලයේදී පරාජය වූ අවස්ථාවට වඩා වැඩි සහයෝගයක් මෙවර අවි අලෙවිය සීමා කිරීමේ උත්සාහය වෙනුවෙන් ලැබී තිබීම විශේෂත්වයකි.

        ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ හදිසි අවශ්‍යතාවයක් සලකා ට්‍රම්ප් පරිපාලනය, සාමාන්‍ය කොංග්‍රස් මණ්ඩල සමාලෝචන පවා මඟ හරිමින් මෙම අවි හුවමාරුව කඩිනම් කිරීමට පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.