ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවන් එල්ල කරන ලද ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 
ජෙරුසලමේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (14) විවෘත කිරීමට නියමිතව තිබියදී ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ විරෝධතා මෙලෙස ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන තිබේ. 
 
ගාසා දේශසීමාවට පලස්තීන වැසියන් දහස් ගණනක් එක්රැස් වී ඇතැයි ද මියගිය පිරිස අතර 14 වියැති අයකු සහ විසි හැවිරිදි වියේ පසුවන දෙදෙනකු සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


 
ගැටුම් හේතුවෙන් 700කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි බොහෝ දෙනකු තුවාල ලබා ඇත්තේ වෙඩි උණ්ඩ වැදීමෙන් යැයි ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
 
ආරක්ෂක වැට දෙස පැමිණෙන ඕනෑම අයකු තමන්ගේ ජීවිතය අනතුරු දමාගන්නා බව ඊශ්‍රායල ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබේ. 
 
ජෙරුසලමේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා ධවල මන්දිර නියෝජිත පිරිස පැමිණීමත් සමඟ ගාසා තීරයේ විරෝධතා වැඩි වී අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ද ගත්තේය.
 
ඩේලිමේල් ඇසුරිනි.
 
055