ඊශ්‍රායලය එල්ල කළ ෂෙල් ප්‍රහාරයකට හසුවී මරණයට පත්වීමට ප්‍රථමයෙන් ගාසා තීරයේ වෙරළේ දුව පැන ඇවදින කුඩා දරුවන් සිව්දෙනෙකුගේ සිත කළඹවන සුළු ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කැර ඇත.

වාර්තාවන්ට අනුව ඡායාරූපය ගෙන මොහොතක ඇවෑමෙන් එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් එම කුඩා දරුවන් තිදෙනා මරු මුවට පත්ව ඇත.

ප්‍රහාරය එල්ල වුනු ප්‍රදේශයේ වැසියන්ට ප්‍රදේශය අතහැර ඉවත් වෙන්නැයි පෙර දිනයේ ඊශ්‍රායල ආරක්ෂක අංශ දැනුම් දී තිබී ඇතැයි සදහන්ය.

ඊශ්‍රාලෙය ෂෙල් ප්‍රහාරය එල්ල කර තිඛෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල්වී හමාස් සංවිධානය හා ඊශ්‍රායෙලය අතර තාවකාලිකව ඇති කරගත් පැය 5 ක සටන් විරාමය අවසන්වී මිනිත්තු 20 ක් ගතවූ තැනය. ප්‍රහාරට පිළිතුරු වශයෙන් හමාස් සංවිධානය ද ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර රැසක් එල්ල කළේය.

එක්සත් ජාතීන් සටන් විරාමයක් සදහා පැමිණෙන්නැයි දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබුණේ ගාසා තීරයේ පීඩාවට පත්ව සිටි වැසියන්ට අවැසි ආහාර හා වෙනත් ද්‍රව්‍ය සපයා ගැනීමට අවස්ථාවක් සළසා දීමේ අරමුණින්ය.සටන් විරාමය අතරතුරේ ගාසා තීරයේ වැසියෝ දින ගණනක් වසා තිබී නැවත විවෘත කර තිබූ බැංකු හා වෙළදසැල් වල පොකුරු ගැසී සිටිනු දක්නා ලදහ.

ඊජිප්තුවද දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසෙන අතර එයට වැඩි කල්පැවැත්මක් තිඛෙනු ඇතැයි පැවසේ.

ඊශ්‍රායෙලය ගාසා තීරයෙන් එල්ල වන රොකට් ප්‍රහාර මැඩපැවැත්වීම සදහා භට සේනාංක ගාසා තීරයට යවා ඇති අතර ඔවුන් හා හමාස් සංවිධානයේ සාමාජිකයින් අතර දරුණු ගැටුම් ඇතිවෙමින් තිබේ.

පසුගියදා ඇතිවූ ගැටුම් වලට මැදිවී එක් ඊශ්‍රායල් ජාතිකයෙකුත්,පලස්තීන ජාතිකයින් 200 කට ආසන්න පිරිසකුත් මියගොස් ඇත.

රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායලය ආරක්ෂා කරන බව කියන ‘‘අයන ආවරණය‘‘ (අයන් ඩෝම්) යනු කුමක්ද?

අයන් ඩෝමය ඊශ්‍රායෙල හා ඇමරිකා විද්‍යාඥයින් ගේ නිර්මානයකි.

එය අවියක් නොව ගුවන් නිරීක්ෂක පද්දතියක් යැයි පැවසීම වඩා නිවැරදිය.

ඊශ්‍රායෙල ගුවන ආක්‍රමණය කරන රොකට් ප්‍රහාරයක් වේ නම් අයන් ඩෝම් නිරීක්ෂක පද්ධතියේ ඇති සංකීර්ණ පරිගණක පද්ධතිය හා මෘදුකාංගයන් එම රොකටයේ ගමන් මාර්ගය විය හැකි ප්‍රදේශය සිතියම් ගත කරනු ලබයි.

සිතියම් ගත කිරීම සිදුවනුයේ රොකටය ගුවනේ තිබියදීමය.

අනතුරුව සිතියම් ගත කිරීම ආශ්‍රයෙන් රොකටයේ ගමන් මාර්ගය මෙය වනු ඇතැයි තීරණය කරගත් පසු ඊශ්‍රායෙලයේ එක් එක් ස්ථානයන්හි ස්ථානගත කර ඇති රොකට් විදිනයන් වෙතට එම තොරතුරු ලබා දේ.

අනතුරුව එම රොකට් විදිනයන් ගුවනේ පැමිණෙන රොකටය ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කරයි.

වාර්තා වන ආකාරයට ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව ගුවනේ පැමිණෙන රොකට්ටු වලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් අයන් ඩෝමයට ඇත.

කෙසේනුමුත් එල්ල වන සියලූම රොකට් ප්‍රහාරයන් මැඩැපැවැත්වීමේ හැකියාවක් මෙම පද්ධතියට නොමැත.ඇතැම් රොකටයන් එයින් මිදී අදාළ ඉලක්ක කරා ළඟා වේ.