ඉරානය න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම වළක්වාලීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා පැවැසීය.

ඉරානය සම්බාධක නොතකමින් න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි බැලැස්ටික් මිසයිල අත්හදා බලන බවත් ඒවා ක්‍රියාවට නංවා බලන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම චෝදනා කරයි. 

ඉරානයට පනවා ඇති ආයුධ තහනම 2020 දී ඉවත් නොකළ යුතු බවත් එය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත් රාජ්‍ය ලේකම්වරයා කීවේය. 

ඉරානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ‘පරීක්ෂා කිරීමේ සහ තහනම් කිරීමේ’ පියවර ගන්නැයි ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේය.  

“ඉරානය අල්කයිඩා සංවිධානයට සහාය දක්වනවා. එසේම ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට, ලෙබනනයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට, සෝමාලියාවේ සිදුවන නීතිවිරෝධී වෙළඳාම්වලට අල් ෂෙබාබ් සංවිධානයට සහයෝගය ලබාදෙනවා. ඉරාකයේ සිටින ෂියා සන්නාද්ධ කල්ලිවලට ද ආයුධ සපයනවා. ඔවුන් පුහුණු කරනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා චෝදනා කළේය. 

රුසියාව සහ චීනය ඉරානයට සහාය පළ කරමින් නිෂේධ බලය භාවිත කරනු ඇති බැවින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඉදිරිපත් කළ යෝජනාව සම්මත නොවනු ඇතැයි පැවසේ. 

ඉරානය යේමන සිවිල් යුද්ධයට මැදිහත්වීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වූ අතර රුසියාව තම නිෂේධ බලය භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කළ නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප විය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)

055