පසුගිය ජූලි මාසයේදී ඉරානය විසින් අත්අඩංගුවට ගත් ස්ටෙනා ඉම්පෙරෝ නම් යාත්‍රාව නිදහස් කර ඇතැයි වාර්තා වේ. 

ඉරානයේ බණ්ඩා අබ්බාස් වරායෙන් නෞකාව පිටත් වී ඇති අතර මේ වනවිට එය එක්සත් අරාබි එමිරේට්ස් හි ඩුබායි නගරය බලා ගමන් කරන බව බලධාරීහු පවසති.

බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාව ඉරානය හා බ්‍රිතාන්‍ය අතර ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් පසුගිය ජූලි 19 වැනිදා හෝම්ස් සමුද්‍ර සංධියේදී ඉරාන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉරාන මුහුදු ප්‍රදේශයෙන් ඉවත් වූ පසු යාත්‍රාව දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඩුබායි වෙත ගෙන ඒමට සැලසුම් කර ඇතැයි එහි හිමිකරු පවසයි.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි 23 දෙනාගෙන් 7 දෙනකු මීට පෙර ඉරානය විසින් නිදහස් කරන ලදී.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)