ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)
 
දිගින් දිගටම ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභ නොලැබුණහොත් මීට වසර තුනකට පෙර අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අද (22) පැවසීය. 

 
ආර්ථික ප්‍රතිලාභ නොලැබුණහොත් සහ ප්‍රධාන බැංකු දිගින් දිගටම ඉරාන ජනරජය මගහැරියොත් 2015 වසරේදී අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් බව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අබ්බාස් අරාකි මාධ්‍යවේදීන් හමුවේ කීය. 
 
එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව යන ඉරානය සමඟ 2015 වසරේදී ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට’ එකඟත්වය පළ කළේය. එම ගිවිසුමට ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන බල ශක්ති උත්පාදනයට සීමා කළ යුතු අතර එම එකඟතාව අනුව ඉරානය වෙත පනවා තිබෙන ආර්ථික සම්බාධක ඉවත් කිරීමට ගිවිසුමට අත්සන් තැබූ ලෝක බලවතුන් එකඟ විය. 
 
කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පැනවූ සම්බාධක සියල්ල ඉවත් කර නොමැති අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් වෙන බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ බැංකු ඉරානය සමඟ ගනුදෙනු කිරීම සීමා කර තිබේ. 
 
එම නිසා විදේශ වෙළෙඳාම නැවත ගොඩනැගීමට සහ ආයෝජන ආකර්ෂණය කරගැනීමට කරන ක්‍රියාමාර්ගවලට අහිතකර ලෙස බලපෑම් එල්ල වී තිබේ.