ඇමෙරිකානු හමුදා සියල්ල ත්‍රස්තවාදීන්යැයි නම් කරමින් ඉරාන පාර්ලිමේන්තුව අද (7) නව පනතක් සම්මත කරගත්තේය. 


ඉරානයේ දෙවැනි බලවත්ම නායකයා ලෙස සැළකුණු එරට විප්ලව ආරක්ෂක හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානීයා වූ මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය එම පනත් කෙටුම්පත සම්මත කරගෙන තිබේ.


ඇමෙරිකාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පසුගිය සිකුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් සුලෙයිමානී මරුමුවට පත්විය. 


ඉරාන පාර්ලිමේන්තුවේ දී සම්මත වූ නව පනත් කෙටුම්පතට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු හමුදා, පෙන්ටගනය හෙවත් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඊට අනුබද්ධ ආයතන හා සංවිධාන, නියෝජිතවරුන් සහ අණදෙන නිලධාරීන් මෙන්ම මේජර් ජෙනරාල් සුලෙයිමානී ඝාතනය කිරීමට අණ දුන් නියෝග කළ සියලු දෙනා ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර තිබේ. 


“හමුදා, බුද්ධි තොරතුරු, මූල්‍ය, තාක්ෂණික, සේවා සහ සැපයුම් ආදිය ඇතුළුව ඔවුන්ට සපයන සේවා හා පහසුකම්  සහ ආධාර සියල්ල ත්‍රස්තවාදයට සහයෝගය දැක්වීමක්” යැයි ද ඉරාන පාර්ලිමේන්තුව සඳහන් කරයි. 


ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකයට යූරෝ මිලියන 200 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 302ක්) වෙන් කිරීමට ද ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබේ. 


මෙම පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේ දී ඉරාන පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනත් කෙටුම්පතේ සංශෝධිත එකකි. එම පනතින් ඇමෙරිකා එක්සත් ජනපදය “ත්‍රස්තවාදයට සහාය දක්වන රාජ්‍යයක්” ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර මැදපෙරදිග කලාපයේ සිටින ඇමෙරිකානු හමුදා “ත්‍රස්තවාදී කණ්ඩායම්” ලෙස නම් කෙරුණි. 


ඇමෙරිකාව ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදා බළකාය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරිමෙන් මෙම පියවර ගත් බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහන් කළේය. 

 

ඒ.එෆ්.පී. 

 

055