ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉතා පරෙස්සම් විය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය. 

සිකුරාදා යාච්ඥා මෙහෙය පවත්වමින් ඉරාන උත්තරීතර නායකයා පෙරේදා (17) ඇමෙරිකාව දැඩි ලෙස විවේචනය කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා , ඉරාන උත්තරීතර නායකයා ඔහු කියන දෑ සම්බන්ධයෙන් වඩාත් පරෙස්සම් විය යුතු යැයි කීවේය.

ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදාගනිමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ කුද්ස් විශේෂ බළකායේ ප්‍රධානී ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වීමත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර තිබෙන බල අරගලය උග්‍ර අතට හැරිණි.

ජෙනරාල් සුලෙයිමානී ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු අතර ඔහුගේ අවමංගල්‍යය අවස්ථාවේ දී ඉරාන උත්තරීතර නායකයා ද කඳුළු සැළුවේය. 
“ඉරානයේ ඔය කියන උත්තරීතර නායකයා මෑතකාලයේ නම් එතරම්ම උත්තරීතර නැහැ. ඇමෙරිකාව ගැනත් යුරෝපය ගැනත් බොහෝ නපුරා දෑ කියා තිබෙනවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

“ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. මිනිස්සු දුක් විඳිනවා. ඔහු ඔහුගේ වචන ගැන ගොඩක් පරෙස්සම් විය යුතු” යැයි ද එම ට්විටර් පණිවුඩයේ දැක්විණි. 

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ‘සිකුරාදා දේව මෙහෙයක්’ පැවැත්වූයේ වසර 8කට පසුවය. 

ඇමෙරිකානු ජනාධිපතිවරයා අරාබි බසින් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

(රොයිටර්)

055