පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණි ඉරාන ජනාධිපති මෂූඩ් පෙසෙෂ්කියන්ට පාකිස්තාන රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඉරාන ජනාධිපතිවරයා පාකිස්තානයට පැමිණියේ, ඇමෙරිකාව සහ ඉරානය පාකිස්තානයේ මැදිහත් වීමෙන් ඇතිකරගත් අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. 

මෙම අවබෝධතා ගිවිසුමට ඇමෙරිකාව සහ ඉරානය අත්සන් තබා ඇත. එහි අඩංගු කොන්දේසි ක්‍රියාත්මක කිරීමට දින 60 ක කාලයක් දෙපාර්ශ්වයට හිමිවන බව ද පැවැසෙයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීෆ් මුනීර් ඉරාන ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි පමණක් නොව, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද මෙම සාකච්ඡා සඳහා එක් වූහ.

ඉරානය කිසිම අවස්ථාවක න්‍යෂ්ටික අවි නිපදවීමක් නොකරන බව එම හමුවේදී ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ඉරාන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය කිසිම අවස්ථාවක ඔවුන් සතු බලැස්ටික් මිසයිල අත් හැරීමක් සිදු නොකරන බවය.

ඉරානයේ දිගු දුර බලැස්ටික මිසයිල සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අදහස් දැක්වීමක් කර තිබේ. ට්‍රම්ප් පවසා ඇත්තේ අසල්වැසි සෑම රටක් සතුවම බලැස්ටික් මිසයිල ඇති බවත්, ඉරානයට බලැස්ටික් මිසයිල අත්හරින්නැයි බල කිරීම අසාධාරණ බවත්ය.

ඇමෙරිකාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම සාර්ථක වේවි යැයි තමන් විශ්වාස කරන බව ඉරාන ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළේය. ඇමෙරිකාව සහ ඉරානය අතරේ තිරසාර සාම වැඩපිළිවෙළක් ඇති කර ගැනීමට පාකිස්තානය පූර්ණ සහාය ලබා දෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉරාන ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ යැයි ද විදෙස් මාධ්‍ය පවසයි.