පළමුවැනි වරට ඉරාකයේ රූ රැජිණ තේරීමේ තරගාවලියක් සංවිධානය කෙරුණු අතර එහිදී ශ්‍යාමා අබ්දෙල්රහුමාන් නම් 20 හැවිරිදි යුවතිය ඉරාකයේ මුල්ම රූ රැජිණ කිරුළ හිමිකරගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

‘මිස් ඉරාක්‘ තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ නිලධාරියකු වන හුමාම් අල් ඔබෙයිදි පවසන්නේ ‘අපි ජීවිතයට ආදරය නොකරන බවට සමහර මිනිසුන් තුළ තිබූ සිතුවිල්ල ඉවත්වූ බව‘යි.

අවසන් තරගය පැවැති බැග්ඩෑඩයේ හෝටලයේ බෝල්රූම් ශාලාව සංවිධායකයන්ගෙන් හා විශාල පිරිසකගෙන් පිරී ඉතිරී ගිය බව එරට මාධ්‍ය වාර්තා කියයි.

තරගය විනිශ්චයට සිටි ජූරි මණ්ඩලය ඉරාකයේ විවිධ ජනවර්ග වෙසෙන කිර්කුක් නගරයෙන් පැමිණි උසැති කොළවන් ඇස් ඇති 20 හැවිරිදි ශ්‍යාමා අබ්දෙල්රහුමාන් තරුණියට පළමු මිස් ඉරාක් කිරුළ ලබාදීමට තීරණය කළේය.

තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග එහි පැමිණ සිටි පිරිස උද්දාමයට පත්වූහ. විශේෂයෙන්ම තරුණයෝ හුනසුනෙන් නැගිට ඇගේ නම කියමින් කෑගසන්නට වූහ.

ඉරාකය ඉදිරියට පියවර තැබීම පිළිබඳව තමා බෙහෙවින් සතුටුවන බව නව රූ රැජිණිය ඒඑෆ්පී පුවත්සේවයට කියා සිටින්නීය. මෙම තරග ඉසව්ව ඉතා විශාල එකක් බවත් එය සියලු ඉරාක ජාතිකයන්ගේ මුහුණේ සිනාවක් මතුකිරීමට සමත්වූ බවත් ඇය කියා සිටියාය.

බොහෝ තරගකාරියන් ආඩම්බර ලීලාවෙන් තරග කළ අතර උස් අඩි සහිත පාවහන් පැළඳ සන්ධ්‍යා කාලයට උචිත අත් රහිත ඇඳුමින් සැරසී සිටි නමුත් දණ හිසින් පහළට ඇඳුම් ඇඳ සිටි බවත් මාධ්‍ය වාර්තා කියයි.

ජයග්‍රාහිකාව සඳහන් කර සිටියේ ඇගේ ජනප්‍රියත්වය උපයෝගී කරගනිමින් ඉරාකයේ අධ්‍යාපනය නගා සිටුවීමටත් යුද්ධයෙන් අසරණවූ ජනතාව වෙනුවෙන් යමක් කිරීමටත් සූදානම් බවයි.
web_Iraq_201512205060341-27 web_Iraq_2015122050603417