පාකිස්තාන විපක්ෂනායක ඉම්රාන් ඛාන්ගේ හා ජනප්‍රිය පූජක තහිරුල් කඩ්රිගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවර ජාතික රූපවාහිනියට කඩා වැදීමෙන් පසු ඔවුන් ඉවත් කර එහි බලය නැවත තහවුරු කර ගැනීමට පකිස්තාන හමුදාව සමත් විය.

විපක්ෂයේ ඉල්ලීම වනුයේ අගමැති නවාස් ෂරීෆ් ඉල්ලා අස් විය යුතු බවයි.

තමා දූෂිතයකු නොවන බවත්, පසුගිය ඡන්දයේ දී වංචා සිදු නොකළ බවත් ෂරීෆ් කියයි.

පොලිසිය සමඟ ගැටුණු විරෝධතාකරුවන් යුද හමුදාව සමඟ ගැටුණේ නැත. යුද හමුදාවට සහාය දෙන්නැයි ඉම්රාන් හා කඩ්රි  ඔවුන්ගේ ආධාරකරුවනට කීහ.

දහස් ගණන් විරෝධතාකරුවෝ පොලු මුගුරු රැගෙන පකිස්තාන අගමැති නිවස දෙසට ගමන් කළහ.

කැරලි මර්දන පොලිසිය පසු බැස ගියේය. පොලිසියේ කිහිප දෙනෙක් ද තුවාල ලදහ.  උද්ඝෝෂකයෝ වාහනවලට පහර දෙමින් මාර්ග බාධක ලෙස පාර හරහා දැමුණු කන්ටේනර ගිනි තබමින් කලබල කළහ.

ටික වේලාවකට පසු යුද හමුදාව පැමිණ උද්ඝෝෂකයන් සාමකාමී ලෙස එළියට කැඳවාගෙන ගියේය. ඉන් පසු ජාතික රූපවාහිනිය යළි විකාශන පටන් ගත්තේය.