ආසියාවේ බලවතුන් වන චීනයට සහ ඉන්දියාවට සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් ඇතැයි චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී පවසයි. 
 
දෙරට අතරේ තිබෙන මතභේද නවතා දමා සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරටම අපේක්ෂා කරයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිත අතර එය ඉන්දු චීන සබඳතාවල සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි ද පැවසේ. 
 
මාස දෙකක් පුරා පැවැති දේශසීමා අර්බුදය විසඳා ගැනීමට ද චීනය සහ ඉන්දියාව මේ සතිය ආරම්භයේදී එකඟත්වය පළ කළේය. මේ සතිය අවසානයේදී ‘බ්‍රික්ස්’ සමුළුවද චීනයේ දී පැවැත්වීමට නියමිතය. චීනය හා ඉන්දියාවට අමතරව බ්‍රසීලය, රුසියාව සහ දකුණු අප්‍රිකාව ‘බ්‍රික්ස්’ සංවිධානයේ අනෙකුත් සාමාජික රටවල් වෙයි.
 
“කලාපයේ බලවතුන් අතර වෙනස්කම් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එහෙත් ඒ නොගැලපීම් වෙනස්කම් පසෙක ලා කටයුතු කිරීමට සුවිශේෂී හැකියාවක් දෙරටම තියෙනවා” යැයි චීන විදේශ අමාත්‍යවරයා පැවැසීය.
 
වඩාත් වැදගත් වන්නේ නොගැලපීම් හා වෙනස්කම් නිවැරැදි ලෙස කළමනාකරණය කරගනිමින් අන්‍යෝනය ගරුත්වයෙන් සහ පොදු එකඟත්වයෙන් කටයුතු කිරීම යැයි ද චීන විදේශ අමාත්‍යවරයා කීවේය.
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංචාරය කිරීමට නියමිත චීනයේ ගිනිකොණ දිග ෂියාමෙන් නගරයේ පැවැති මාධ්‍ය හමුවක දී චීන විදේශ ඇමැතිවරයා එම අදහස් පළ කළේය. 
 
(රොයිටර් 055)